ඩෙල්ටා ආසාදිතයින් හමුවීම හේතුවෙන් කර්මාන්තශාලාවක් වසා දමයි.. සියළුම දෙනා නිරෝධායනයට…

0
Delta Variant in Garment Factory - ඩෙල්ටා ආසාදිතයින් හමුවීම හේතුවෙන් කර්මාන්තශාලාවක් වසා දමයි.. සියළුම දෙනා නිරෝධායනයට...

ඩෙල්ටා වෛරස ප්‍රභේද ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ජබුරලිය, ලුල්ලවල පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබාදුන් උපදෙස් මත එම තීරණය ආයතනය වෙත දැනුම් දුන් බවත් මේ වන විටත් එම කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි වෛද්‍යවරිය කීය. ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන් 6 හය දෙනාට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි වෛද්‍යවරිය කීය.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් සියලුම දෙනා නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් වෛද්‍ය සමන්තිකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

දින කීපයකට ඉහතදී එම කර්මාන්තශාලාවෙන් ඩෙල්ටා වෛරසය ආසාදිත රෝගියෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලාවේ අංශ කිහිපයක් අතුරින් අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් 166කු උදෙසා සිදුකළ පිසිආර් පරීක්ෂණයක් සිදුකළ අතර තවත් විසි දෙදෙනකුගේ නියැදි වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කෙරිණි.

එමගින් සේවක සේවිකාවන් 109 කුට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යවන ලද නියැදි සාම්පල 20 න් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වි ඇති බවට අනාවරණය විය.

එම එකොළොස් දෙනාගෙන් නියැදි තවදුරටත් පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව පස් දෙනකුට ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත වි ඇති බවට අනාවරණය වී තිබූ පහු වෛද්‍යවරිය පැවසුවාය.

අනතුරුව ඉකුත් 21 දින නැවතත් එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 250කු උදෙසා සිදුකළ පිසිආර් පරීක්ෂණයෙන් හය දෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වු බවත් තවත්සේවක සේවිකාවන් 60 කු පමණ පෞද්ගලික රෝහල් වලින් සිදුකරන ලද පිසිආර් පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවට අනාවරණය වූ බව වෛද්‍යවරිය පැවසුවාය.

නිරෝධායන ලක් කර සිටින සියලුම සේවක සේවිකාවන් සඳහා ඉදිරි දිනකදී පිසිආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.