ඊයේ දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

0

බස්නාහිර පළාතෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 ආසාදිතයින්  1,400 කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.

ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඊයේ (07) දිනය තුළ පමණක් ආසාදිතයින් 1,393 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 591කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 368 ක් හඳුනාගෙන තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදීය, නාරාහේන්පිට ,බොරැල්ල, මහරගම, මරදාන, අවිස්සාවේල්ල, පිළියන්දල යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊට අමතරව කුරුණෑගල 127ක්, මහනුවර 78 ක්, රත්නපුර 53ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතයින් 1,914ක් ඊයේ (07) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 121,338ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ දිනයේ හදුනා ගැණුනු ආසාදිතයින්ගෙන් 1,889 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආශ්‍රිතයින් වන අතර 25 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්ය.

මේ වනවිට කොවිඩ් -19 ආසාදිත රෝගීන් 101,763 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර රෝගීන් 18,811 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර බත්තරමුල්ලේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් 7 දෙනෙකුට ද කොවිඩ් -19වෛරසය ආසාදනය වී තිබේ.

එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළේ මේ හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බවය.

මේ අතර නුවරඑළිය මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බව නුවරඑළිය මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින් පැවසීය.

ඒ අනුව අසාදිත නාගරික මන්ත්‍රීවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙතත් ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයටත් යොමුකර ඇත.

අසාදිත නාගරික මන්ත්‍රීවරයා පසුගිය දා නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කළ වසන්ත උදානයේ තරග ඉසව් ගණනාවකට සහභාගී වී ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

වසන්ත උදානයෙන් අනතුරුව ඉකුත් 05 වනදා වනවිට නුවරඑළිය නගර සභා සීමාවෙන් අසාදිතයන් 93 දෙනෙකු හමු වී ඇත.

ඉන් වැඩි අසාදිතයන් පිරිසක් නුවරඑළිය හාවාඑළිය මහින්ද මාවතෙන් වාර්තා වූ බවද නුවරඑළිය මහනගර සභාවේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ගම්මානවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට පුද්ගලයින් 925,242ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 174,800ක් සඳහාත් ලබා දී අවසන්ය.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත මේ වනවිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට ලබාදීම සිදුකරන අතර මේ දක්වා පුද්ගලයන් 669 දෙනෙකුට එන්නතේහි පළමු මාත්‍රාව ලබාදී තිබේ.

ඒ අනුව මෙරට ජනතාවගෙන් 4% කට අධික පිරිසක් මේ වනවිට එන්නත් ලබාගෙන ඇති අතර අධික ජනඝණත්වයක් සහිත කොළඔ මහනගර සභා සිමාවේ පුද්ගලයින් 20%ක් එන්නත් කර තිබේ.

මේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 1.24 කට වඩා ලොව රටවල් සහ කලාප 191 ක ජනතාවට  ලබා දී අවසන්ය.