ඉදිරියේදී මගුල් පොකුරු ඇතිවීමේ අවදානමක්

0
Health Guide Series - ඉදිරියේදී මගුල් පොකුරු ඇතිවීමේ අවදානමක්

සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරිසේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියේ.

“ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1604 දෙනෙකු වාර්තා වුණා. ඉන් 486 දෙනෙක් කොළඹින්, 279 දෙනෙකු ගම්පහෙන් සහ 213 දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඒ වගේම පෙරේදා දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 47ක් වාර්තා වුනා. මේ වෙද්දී කොවිඩ් ආසාදිත මරණ 3913ක් සමස්තයක් වශයෙන් වාර්තා වෙලා තිබෙනවා.

ජනතාවට රජයක් වශයෙන් ලබා දෙන්නේ පුළුවන් උපරිම සහනය ලබාදෙන්නැයි මේ සංචරණ සීමා ලිහිල් කරලා කටයුතු කර තිබෙනවා. නමුත් දෛනිකව ආසාදිතයින් 1500 සීමාව ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවදානයකින් පසුවීම ඉතා වැදගත්. පහුගිය දිනවලදී විවිධ වෛද්‍ය සංගම් අනතුරු අඟවලා තියෙනවා රටේ කොවිඩ් ව්‍යාප්තිය ගැන. ඒ වගේම ඉදිරියේ එන්නේ දීර්ඝ සති අන්තයක්. සියලුම ජනතාවට වගකීමක් තියෙනවා වෛරසය ව්‍යාප්තියට ඉඩ නොතබා කටයුතු කරන්න.

විශාල කොවිඩ් පොකුරු වාර්තා වූ 03 වන කොවිඩ් රැල්ල ආරම්භ වුනේ අලුත් අවුරුදු සමයේ දී ජනතාව වගකීම් විරහිත ලෙස කටයුතු කිරිම නිසයි. ඒ නිසා අපි ජනතාවට නැවත වරක් මතක් කර දෙනවා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා.

ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැහැ. අවසරය ලබාදී ඇති සීමාව ගැන තැකීමක් නොකොට මංගල උත්සව පවත්වන බවට තොරතුරු වාර්තා වනවා. ඉදිරියේදී මේ අයුරින් කටයුතු කලොත් මගුල් පොකුරු ඇතිවීමේ අවදානමක් තිබෙනවා.” යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.