දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය හොයන්න කමිටුවක්

0
දැවිතෙල් නිසා සිදුවන පරිසර හානිය හොයන්න කමිටුවක්

මෙරට වරායන්ට පැමිණෙන නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් නිසා විශාල පරිසර හානියක් සිදුවන බව හෙළිදරව් වී තිබෙනවා.

එයට හේතුව නම් මෙම දැවිතෙල්වලින් ඉවත් කෙරෙන අපිරිසිදු ජලය අවිධිමත්ව පරිසරයට බැහැර කිරීමයි.

නැව්වලින් දැවිතෙල් ඉවත් කිරීමේ ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ එසේ බැහැර කළ හැක්කේ අදාළ නැව අවසානයට පැමිණි වරායේ සිට ඊළඟ නැවතුම දක්වා එක් වු දැවිතෙල් පමණයි.

අපේ රටේ හැර අනෙක් සියලුම රටවල දී කිසියම් නැවක් දැවිතෙල් බැහැර කරන්නේ නම් ඒ රටට සිදුවන පාරිසරික හානිය නිසා අදාළ නැව් විසින් ඊට මුදලක් එම රටට ගෙවිය යුතු වනවා.

නමුත් අපේ රටේ සිදුවන්නේ නැව්වලට අපි විසින් මුදල් ගෙවා දැවිතෙල් මිල දී ගැනීමයි.

දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන මෙම අවිධිමත් ක්‍රියාව හේතුවෙන් සිදුවන පාරිසරික හානිය සම්බන්ධව ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මේ පිළිබඳ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

දැවිතෙල්වලින් ජලය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ එසේ ඉවත් කෙරෙන ජලය ඝෘජුවම බැහැර කරනුයේ ගංගා ඇළදොල වැනි ජලමූලාශ්‍රයන්ටයි .

එම අපිරිසිදු ජලය එක් ලීටරයකින් පිරිසිදු ජලය ලීටර් 10,000ක් දූෂණය වන බව මෙහිදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම ජලයේ අඩංගු ආසනික්, සයනයිඩ් , ඊයම්, හා කැඩ්මියම් වැනි බැරලෝහ පානීය ජලයට එක්වීම නිසා අවසානයේ වකුගඩු දියවීම වැනි මාරාන්තික රෝග රැසකට රටේ ජනතාවට මුහුණ දීමට ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එමනිසා නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් ආශ්‍රිතව සිදු කෙරෙන කර්මාන්තය නිසා ඇතිවිය හැකි පාරිසරික ගැටළු අධ්‍යයනය කිරීමටත් ඒ සඳහා වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුවට පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව, සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය හා දැනට මෙම දැවිතෙල් ආශ්‍රිතව ව්‍යාපාරයන් හි නිරත කණ්ඩායම්වල නියෝජිතයෙක්ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.