ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙන බවට අනතුරු ඇඟවීම්

0
Delta Variant - ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙන බවට අනතුරු ඇඟවීම්

ඩෙල්ටා ප්‍රභේදය බවට සැකසහිත ආසාදිතයින් 10දෙනෙක් මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම සාම්පල ජාන අනුක්‍රමික විශ්ලේෂණ ප්‍රතිඵල ඒමට සති දෙකක කාලයක් ගත වන බවත් ඉන් අනතුරුව ඔවුන් පිළිබඳ නිවැරදි ප්‍රකාශයක් සිදුකළ හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

“කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වුණා. එයින් සැකකටයුතු 5දෙනෙක් තමයි ඩෙල්ටා ප්‍රභේදයේ බවට පීසීආර් එකෙන් ඔවුන් හඳුනාගෙන තිබුණේ. නමුත් මෙය තාම ඩෙල්ටා ප්‍රභේදය ද සම්පුර්ණයෙන් තහවුරු කරලා නෑ. අපි ඒ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා.”

ප්‍රශ්නය – ඩෙල්ටා වෛරස ආසාදිතයින් 38 දෙනෙක් වාර්තා වුණා. මීට අමතරව තව වාර්තා වෙලා තියෙනවා ද?

“මීට අමතරව සැක කටයුතු 10 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ජාන අනුක්‍රමික විශ්ලේෂණ ප්‍රතිඵල එන්න සති දෙකක් ගතවෙනවා. එතකොට කියන්න පුළුවන් මොවුන් ඩෙල්ටා ප්‍රභේදය ද වෙන ප්‍රභේදයක් ද කියලා.”

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පිළියන්දල ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ප්‍රභේදය බවට සැකසහිත ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ ද සාම්පල වැඩිදුර විශ්ලේෂණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කර ඇත.

කෙසේවෙතත් එම ආසාදිතයින් 5 දෙනා හඳුනාගෙන තිබුණේ 120 දෙනෙකුම ආසාදිතයින් ලෙස වාර්තා වූ ඇඟලුම් කම්හලකින් වීම විශේෂත්වයකි.

එම ඇඟලුම් ආයතනයේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් එම 120දෙනා කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණය හා සෛල ජෛව විද්‍යා එක්කයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ, ප්‍රභේද පරීක්ෂාව මුලිකව සිදුකරනු ලබන්නේ තම විශ්වවිද්‍යාලය තුළ බවය.

“අපි පසුගිය වට දෙකේම බහුතර පරීක්ෂණ සංඛ්‍යාවක් කොළඹ නගර සීමාව තුළ කරපු සාම්පල. දිවයිනේ අනෙක් ප්‍රදේශවලින් අපි වැඩි පරීක්ෂාවක් සිදුකළේ නෑ. ඒ නිසා අපිට හරියට ම සමාජයේ ඩෙල්ටා රෝගීන් ඉන්නවා ද කියන එක මේකෙන් කියන්න බෑ. අනිත් එක තමා කොළඹ නගර සීමාවේ වුණත් ලැබෙන සියලුම සාම්පල අපි පරීක්ෂා කරන්නේ නෑ. එකෙන් අපි අහඹු නියැදි තෝරාගෙන සිදුකරන්නේ පරීක්ෂණ.”

ප්‍රශ්නය – කැස්බෑව ප්‍රදේයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඩෙල්ටා ආසාදිතයින් හමුවීම පිළිබඳ ඔබතුමාට දත්ත තියෙනවා ද?

“ඇත්තටම මේ සාම්පල ටික හමුවුණේ අපේ විද්‍යාගාරයට. අපිට පීසීආර් පරීක්ෂණයක් ආවට පස්සේ හැම එකක්ම ජාන විශ්ලේෂණය කරන්න බෑ. අපි කරන්නේ එන සාම්පලවලින් බොහෝමයක් ඒවා අරන් පරීක්ෂා කරනවා. එතකොට අපිට දළ වශයෙන් හොයා ගන්න පුළුවන් තියෙන ප්‍රභේද මොනවාද කියලා. එලෙස සොයා ගත් ඒවා තවදුරටත් තහවුරු කිරීමක් කරන්න පූළුවන්. ජාන අනුක්‍රමික විශ්ලේෂණය මඟින්. කැස්බෑවේ හඳුනාගත් සැක සහිත රෝගීන් 5දෙනා අපි තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළේ. ඒ වගේම ඔවුන්ගේ තහවුරු කිරීම ඉදිරි දින කිහිපයේ දී සිදුකරනවා. දැනට සැකයක් තමා තියෙන්නේ. පසුගිය කාලයේ අපි සැක කරපු සියල්ලම ජාන අනුක්‍රමික විශ්ලේෂණ මඟින් තහවුරු වුණා සියයට සීයක්ම.”

මේ අතර හැටන් හිජිරාපුර ප්‍රදේශයේ ආසාදිතයින් රැගෙන යාමට පැමිණි මඩුල්ල දිසා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළේය.

ඒ, ආසාදිතයින් 11 දෙනෙකු සිටියදී ඉන් තිදෙනෙකු පමණක් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බව පවසමිනි.

මේ හේතුවෙන් ගිලන් රථයට නංවාගත් ආසාදිතයින් තිදෙනාද යළි රථයෙන් බැස්වීමට රියදුරු කටයුතු කළේය.