පිහිබියා ගසකින් වැටෙන වියළි කොළ අතු හේතුවෙන් පුද්ගලයකු ඝාතනය කරයි

0
Murder - පිහිබියා ගසකින් වැටෙන වියළි කොළ අතු හේතුවෙන් පුද්ගලයකු ඝාතනය කරයි

බේරුවල, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ආසන්න නිවෙස් දෙකක දෙපිරිසක් අතර සිදු වූ ආරවුලකින් එක් නිවසක පුද්ගලයෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබියදී අද (20)අලුයම මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

මෙම නිවෙස් දෙකෙහි පිරිස එක් නිවසක තිබෙන ගසකින් වියළි වැටෙන කොල අතු හේතුවෙන් කලක පටන් ආරවුල් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී .සුනිල් ඩයස් නැමැති 59හැවිරිදි දෙදරු පියෙක්.

මාස හයක කාලයක පටන් එක් වත්තකින් අනිත් වත්තට වැටෙන පිහිබියා ගසක වියළි වැටෙන කොළ මෙම මරණයට හේතු වී ඇතැයි පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය පවසනවා.

ගැටුම ඇති වූ අවස්ථාවේ සිදු වූ තල්ලු කිරීමකදී යාබද තාප්පයේ වැදී සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයා බේරුවල රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මිය ගොස් සිටින පුද්ගලයා වෘත්තියෙන් වෙළෙඳසැලක් පවත්වන අයෙකු බවත් මෙම සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකරු බෝට්ටු මුරකරුවකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේ දී සිදුකරනු ඇතැයි පොලිසිය පවසනවා.