සයිනොෆාම් වලින් ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක රැකවරණයක්.. 95% කට ප්‍රතිදේහ නිපදවෙයි…

0
Sinopharm Vaccine - සයිනොෆාම් වලින් ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක රැකවරණයක්.. 95% කට ප්‍රතිදේහ නිපදවෙයි...
සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම ගත් අය අතුරින් සියයට 95 කට කොවිඩ් වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිදේහ නිපදවෙන බව ශ්‍රී ලංකාවේදී සිදුකල පර්යේෂණයකදී අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව හා ආසාත්මිකතා ඒකකය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටද සයිනොෆාම් එන්නත මගින් ඉතා හොඳ රැකවරණයක් හිමිවන බවයි.

කොළඹ මහ නගර සභාව සහ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින්ද මෙම පර්යේෂණයට සහය සපයා තිබුණා.

ඊට ප්‍රතිපාදන ලබාදී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

වයස අවුරුදු 20 ත් 39 ත් අතර අයට සයිනොෆාම් එන්නත ඉහළම සාර්ථක ක්‍රියාකාරීත්වයක් දක්වා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 98 යි දසම 9 ක්.

වයස අවුරුදු 60 ට වැඩි අයට එම ප්‍රතිශතය සියයට 93 යි දසම 3 ක් බවයි මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇත්තේ.