පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවක් මියයයි – ඥාතීන්ගෙන් පොලිසියට කරයි චෝදනා (වීඩියෝ)

0
Dead Women in Peliyagoda Police : පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවක් මියයයි - ඥාතීන්ගෙන් පොලිසියට කරයි චෝදනා (වීඩියෝ)
පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි 43 හැවිරිදි තිදරු මවක් පොලිසිය තුළදී මියගොස් තිබෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ අසනීප තත්ත්වයක් පිළිබඳව පොලිසිය දැනුවත් කළද පොලිස් නිලධාරීන් එය නොසලකා හැරීම හේතුවෙන් ඇය මෙලෙස මියගිය බවයි.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එක් පාර්ශවයක් පෑලියගොඩ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට ආදාලව අනෙක් පාර්ශ්වය පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී ආරවුලට අදාලව දැනට මියගොස් සිටින කාන්තාවද ඇතුලු පස්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් බව ඥාතීන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ මියගිය කාන්තාව අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කළද ඇයට ප්‍රතිකාර කිරීමට හෝ රෝහල් ගත කිරීමට ඔවුන් පියවර නොගත් බවයි.

ඒ හේතුවෙන් ඇය මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ පෑලියගොඩ ගැමුණු මාවතේ පදිංචි 43 හැවිරිදි තිදරු මවක්.

මේ අතර 2017 වසරේදී පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළව ඔහුගේ බිරිඳට රුපියල් ලක්ෂ 10 වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරනය අද නියෝග කළා.

ඒ අනුව අධිකරණය නියෝග කළේ රුපියල් හත්ලක්ෂ පනස් දහසක වන්දියක් සහ ඔහු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු පස්දෙනා රුපියල් පනස් දහස බැගින් සිය පුද්ගලික මුදලින් මියගිය පුද්ගලයාගේ බිරිඳට ගෙවන ලෙසයි.