පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වැසේ

0

දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතේ තවත් ග්‍රාම සේවා වසම් 12 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් වසමේ ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහල කරගහමුන උතුර සහ ඉහළ කරගහමුන උතුර මෙලෙස හුදෙකලා කෙරෙනවා.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, කුන්දන සහ පොල්හේන මෙලෙස හුදෙකලා කරන ග්‍රාමසේවා වසම්වලට අයත්.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ තින්ඹුර සහ මතුගම පොලිස් වසමේ යටියන බටහිර ග්‍රාම සේවා වසමද හුදෙකලා කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය – ඉඟුරුදළුව පොලිස් වසම අද උදෑසන සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙනවා.

මීට අමතරව මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත සහ පහල හෙවස්ස අද උදෑසන සිට හුදෙකලා භාවයෙන් ඉවත් කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 1,895 ඊයේ දිනයේදී මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 19,424 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී වාර්තාවූ ආසාදිතයන්ගෙන් 44 දෙනෙකු විදෙස් ගතව සිට මෙරටට පැමිණි අයවලුන්.

එමෙන්ම, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණ 11 ක් වාර්තා වුණා.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 11 න් 09 ක්ම කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවෙන් මියගිය අයවලුන් වනවා.

මියගිය පුද්ගලයින් කුලියාපිටිය, ඉනාමලුව, කටුවන, බෙන්තොට, සීදුව, මල්ලවගෙදර, ගෙලිඔය, යාපනය, උඩවලව, බුළුතොට සහ කොළඹ 03 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වයස අවුරුදු 43 ත්, 81 ත් අතර පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

 ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 745 ක් ලෙසයි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අලුත් අවුරුදු පොකුරේ ආසාදිත සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බවයි.

එය සංඛ්‍යාත්මකව ගත් කළ 20,841 ක් වනවා.

එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවද 15,910 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දැනට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත ආසාදිතයන් 35,425 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 21,872 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8,774 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 5,171 ක්. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 4,989 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3,294 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු දිනක් තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බවයි.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් කොරෝනා ඖෂධ ලෙස හඳුන්වමින් අලෙවි කරන ව්‍යාජ නිෂ්පාදන තහනම් කර වෙළඳපලෙන් ඉවත් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දුන් බවයි.

මීට මාස කිහිපයකට පමණ පෙර ජනතාව විසින් භාවිත කිරීමට පොරකෑ මිත්‍යාවක් බවට තහවුරු වූ ධම්මික පැණිය ඊට උදාහරණයක් ලෙස සඳහන් කළ හැකි බවටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ දිනවල කරාපිටිය ශික්ෂණ රෝහල ආශ්‍රිතවද කොරෝනා වෛරසයට සුදුසු බව පවසමින් ඖෂධ කරලක් අලෙවි කරන බවටද තොරතුරු ලැබී තිබෙනවා එබැවින් කොරෝනා වෛරසය පැතිර යන අවස්ථාවක ජනතාව අසරණ කරමින් මුදල් කොල්ලකන පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.