දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට

0
දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට

අගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එම දඩ මුදල රුපියල් 10,000 ක් වූ අතර, අගෝස්තු පළවනදායින් පසු පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ එම දඩ මුදල ඉහළ දැමූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

අගෝස්තු මස පළමුවන දා සිට අප රටේ සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බවත්, එම ලන්ච්ෂීට් භාවිතය අනිවාර්යය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දිනෙක දැනුම් දුන්නා.

එමෙන්ම දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කරන්නේ.

පරිසර අමාත්‍යාංශය ගනු ලැබූ අනෙකුත් තීරණ පහතින් දැක්වේ.

>පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදන සමාගම්වලට මාසයක සහන කාලයක් ලබා දීම

>ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වන නව සමාගම්වලට ඒ සඳහා ඉඩ ලබා දීම

> පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය මුළුමනින්ම අකර්මණය කිරීම

> ජෛව හායනික ලන්ච්ෂීට් නිෂ්පාදනයේ දී වෙනත් ව්‍යාජ කර්මාන්තකරුවන් එම කටයුතු සිදු කිරීම වැළැක්වීමට සඳහා අදාළ නිෂ්පාදන සමාගම හඳුනාගැනීමට කිසියම් කේතයක් හඳුන්වා දීම හා ( CODE) ඒ ඒ සමාගම් මගින් නිකුත් කරන සෑම ලන්ච්ෂීට් එකකම එම කේතය මුද්‍රණය කිරීම. ඒ සඳහා සෞඛ්‍යමය වශයෙන් හිතකර තීන්ත භාවිතා කිරීම.

> මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා වෙනත් ආයතන යොදාගනිමින් මෙම සමාගම් මෙන්ම වෙළෙඳපොළ නියාමනය අඛණ්ඩව සිදු කිරීම හා අවශ්‍ය නම් වැටලීම්වල දී පොලිසියේ සහාය ලබා ගැනීම.

>දැනට මේ සම්බන්ධව පවතින පරිසර පනත ඇතුළු අණපනත් මගින් යෝජනා කර ඇති දඩමුදල් හා දඩුවම් වැඩිකරමින් සංශෝධනය කිරීම.