රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුට

0
Servant Dead - රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (15) දැනුම් දුන්නේය.

ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ 73 වාට්ටුවේ දැඩි සත්කාර ඒකක 2හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දැරිය නිරීක්ෂණය කිරීම සදහා අද (15) පිටත්ව ගියාය.

පසුව, දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකරනු ලැබුවාය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙසට මෙහිදී බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එහිදී දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

ඉකුත් 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත්තේ ඩයගම බරහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි.