ගිනිගත් නෞකාවෙ නඩුව කල් යයි

0
එක්ස්ප්‍රස් පර්ල් නඩුව කල් යයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබුණි.

නඩුව කැඳවූ අවස්ථාවේ, විමර්ශනවලට අදාළව අද දිනයේ අධිකරණයෙන් නියෝග කිසිවක් අපේක්ෂා නොකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

ඒ අනුව අදාළ නඩුව අගෝස්තු මස 6 වනදා යළි කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එදිනට අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින ගිනිගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා, දේශීය නියෝජිත සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු අද අධිකරණය හමුවේ පෙනීසිට තිබුණි.

ඔවුන්ට මීළඟ නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.