ඩොලර් නැතිව වරායේ තෙල් නැවක් හිරවෙලා! නොගෙවුවොත් තෙල් සමග ආපසු යයි

0
Fuel Ship - ඩොලර් නැතිව වරායේ තෙල් නැවක් හිරවෙලා! නොගෙවුවොත් තෙල් සමග ආපසු යයි

වත්මන් ආණ්ඩුව ඩොලර් අර්බුදයකට ලක්ව සිටින බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ගෙවාගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකක් අරගෙන යන්න යාවි යැයිද රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

වත්මන් ශ‍්‍රී ලංකාව විදේශ විනිමය හිඟවීම ප‍්‍රධාන කොටගත් ආර්ථික අර්බුදයක සිරවෙලා ඉන්නවා. මේ වන විට අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. වසර මැද භාගයේදී බැඳුම්කර ණය ලෙස ඩොලර් කෝටි 100ක් ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ ඉතිරි වන්නේ ඩොලර් කෝටි 300ක සංචිතයක් පමණයි. එයට අමතරව තෙල් සංස්ථාව නොගෙවූ ඩොලර් බිල්පත් වටිනාකම ලෙස ඩොලර් කෝටි 130කුත් සිරවී තිබෙනවා.

අපේ වාණිජ බැංකුවල අද ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා සිටින්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. නමුත් ලැබෙන නිල නොවන ආරංචි අනුව එය ඩොලර් කෝටි 300ක පමණ මුදලක්.

ඒ අනුව දැනට අපට ගෙවන්න තියෙන මුළු ණය මුදල ඩොලර් කෝටි 430ක්. නමුත් අපි සතුව තිබෙන්නේ ඩොලර් කෝටි 300ක මුදලක් පමණයි. රට සතුව තිබෙන ඩොලර් කෝටි 300නුත් තව ඩොලර් කෝටි 100ට වඩා වසර අවසන්වීමට ප‍්‍රථම ණය වාරික ලෙස ගෙවුවහම රටේ භාණ්ඩාගාරයේ මොනවද ඉතිරි වෙන්නේ. රටේ දැන් මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා හමාරයි.

රටට භාණ්ඩ ආනයනය කරන්න මුදල් නැති නිසා ආණ්ඩුව ආනයන සීමා පැනවූවා. පොහොර ගේන්න මුදල් නැති නිසා කාබනික පොහොර ගන්න කියා ගොවියාට කිව්වා. ආණ්ඩුව ගොවියාට කාබනික පොහොරවලට යන්න කියන්නේ පොහොර ගේන්න මුදල් නැතිකම මත මිස වෙනත් හේතුවක් මත නොවෙයි.

ඩොලර් ගෙවා ගන්න බැරුව කොළඹ වරායට පැමිණි තෙල් නැවක් හිර වෙලා තිබෙනවා. ඩොලර් නොගෙව්වොත් මේ නැව තෙල් ටිකත් අරන් යන්න යාවි. එම නිසා ආණ්ඩුව ඩොලර් සොයමින් සිටිනවා මේ තෙල් ටික නිදහස් කර ගන්න.

‘කොවිඞ්’ මර්දන එන්නත ලබාදීම අවුරුදු 30ට වැඩි අයට පමණක් කියා නිර්දේශ කර ඇත්තේ හැම කෙනාටම එන්නත් ගෙනත් දෙන්න ආණ්ඩුවට මුදල් නැති නිසයි. මෙවැනි බරපතළ අර්බුදකාරී තැනක රට හිරවෙලා සිටිනවා.

ආණ්ඩුව බොහෝ රටවලින් මුදල් ගන්න හැදුවත් ඒවා ලැබුණේ නැහැ. කෙටිකාලීනව සුළු මුදලක් සහන ණයක් ලෙස ලැබුණත් එය මේ අර්බුදයෙන් ගැලවෙන්න ප‍්‍රමාණවත් නැහැ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දිනක තීන්දු කළා ඩොලර් කෝටි 6500 ක් තමන්ගේ සාමාජික රටවල් 190 අතර බෙදා දෙන්න. එමගින් අපටත් ඩොලර් කෝටි 80ක් පිනට ලැබෙනවා. ඒ මුදල මදි අපේ රටේ ආර්ථිකය ඉදිරියට ඇදගෙන යන්න. ඒ නිසා තවත් මුදල් සොයන්න වෙනවා.

ආණ්ඩුවට මුදල් හොයා ගන්න විකල්ප ක‍්‍රම නැතිනම් මම යෝජනා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡුා කරලා, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය මුදල් සොයා ගන්න කියලායි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණාම ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවලිනුත් අපට මුදල් ලබා ගන්න පුළුවන් වේවි.

නැතිනම් ලබන වසර මැද භාගය පමණ වන විට අපේ විරැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව අපේ ජනතාවගේ බඩගින්න වැඩි වෙන්න පුළුවන්. මෙම බරපතළ ගැටලූව මුල් කර ගනිමින් පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටින්න මම අපේක්ෂා කරනවා. මොකද රටේ මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුවෙන්. මහ බැංකුවත්, භාණ්ඩාගාරයත් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවට යටත්ව මිසක් ඊට ඉහළින් සිට නොවෙයි. එම නිසා පාර්ලිමේන්තුවට මේ ගැන ප‍්‍රශ්න කරන්න තිබෙන වරප‍්‍රසාදය අනුව මම මේ විවාදය ඉල්ලා සිටිනවා.