ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදෙන ඔබේ දරුවාටත් මේ සෞඛ්‍ය ගැටළු තිබෙනවාද? ප්‍රතිකාර මෙන්න

0
Treatments - ඔන්ලයින් අධ්‍යාපනයෙ යෙදෙන ඔබේ දරුවාටත් මේ සෞඛ්‍ය ගැටළු තිබෙනවාද? ප්‍රතිකාර මෙන්න

ඔන්ලයින් අධ්‍යාපනය කිරීමේදී දෘෂ්ඨි ඌනතාවය ගැන ගැටළු ඇතිවන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පවසනවා.

දිනපතා පළවන පුවත්පතකට වෛද්‍යවරයා මේ පිළිබඳව පවසා තිබුණා.

ඒ අනුව දරුවන්ට ඇති විය හැකි දෘෂ්ඨි ඌනතාව ගැන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් සජීවීව වෛද්‍යවරයා සම්බන්ධ කරගනිමින් විමසා සිටියා.

එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ වෙන කාලවලට වැඩිය ළමයින් දෘෂ්ඨි ඌනතා නිසා ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන බවයි.

ඇස් රිදීම ,ඔලුව රිදීම ,මානසික ගැටළු ,තරහ ගැනීම් ,කඳුළු ඒම වැනි කාරණා නිසා දරුවන් වෛද්‍යවරුන් වෙතට පැමිණීම වැඩි වූ බවත් එයට හේතු සොයා බැලීමේදී තහවුරු වී තිබුනේ ඔන්ලයින් අධ්‍යාපනය නිසා එකදිගට ඔන්ලයින් තිර දෙස බලා හිඳිම බවයි.

මෙලෙස එකදිගට පරිගණක තිර දෙස බලා හිඳීමෙන් ඇස් වෙහෙසට පත්වී ඇසට ,මොලයට සහ බෙල්ල වැනි ප්‍රදේශවලට බලපෑම් එල්ල කරන බවද වෛද්‍යවරයා පවසනවා.

දරුවන් විශාල ප්‍රමාණයක් මේ වනවිට ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙයට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද යන්න ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් විමසා සිටියා.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ ඔන්ලයින් තිර දෙස බලා හිඳිම එක දිගට කළ නොකළ යුතු බවයි.

එමෙන්ම විනාඩි 20කට පසු අඩුම තත්පර 20ක් වත් අඩි 20කට එහා තිබෙන දෙයක් දෙස බලන්න යනුවෙනුයි.

ඇස වසා සුළු මොහොතක් සම්භාහනය කිරීමද සුදුසු වන අතර ආලෝක තත්ත්වයට ඇස හුරු කරගැනීමද වැදගත් වනවා.

දරුවන්ට සේවා සපයන්නන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)