ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් එයිද?

0
Lambda - ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් එයිද?
කොවිඩ් වෛරසයේ නවතම ප්‍රභේදය ලෙස හදුනාගෙන ඇති ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවටද ඇතුලුවීමේ අවදානමක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

පේරු රාජ්‍යයෙන් පළමුවරට හදුනාගත් ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය මේ දිනවල ලතින් අමරිකානු රටවල ව්‍යාප්තවෙමින් පවතින අතර එය මේවනවිට රටවල් 31 ක ව්‍යාප්තවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළහොත් මෙම නව ප්‍රභේදයෙන්ද ආරක්ෂාවීමට හැකියාව ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර නිවෙස් තුළ සහ වැඩිහිටි නිවාස තුල සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අනිවාර්යෙයන් කොවිඩ් එන්නත ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

දිවයිනපුරා වැඩිහිටියන් සදහා මේවනවිට කොවිඩ් එන්නත ලබාදීමෙ ආරම්භ කර තිබුණද ඔවුන් කොවිඩ් එන්නත ලබාගැනීමේ ප්‍රතිශතයේ අඩුවක් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, වැඩිහිටි හා ආබාදිත වූවන් සදහා වන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය දීපා සරණජීව මහත්මිය කියා සිටියේ.