ග්‍රාම නිලධාරීන් 50කට කොවිඩ් 19 ආසාදනය වේ

0

දිනෙන් දින වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ සතියක කාලයකට හෝ රට වසා තැබිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, ග්‍රාම නිලධාරීවරුන් 50 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් 100 දෙනෙකු නිරෝධායනයට යොමු කර සිටින බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය කියා සිටියා.

ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් 1939 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඉන් 122කු පිළියන්දලින් වීම විශේෂත්වයක්.

ඊට අමතරව මුල්ලේරියාවෙන් ආසාදිතයින් 55 දෙනෙකු වාර්තා වනවා

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 387 දෙනෙකුත් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 දෙනෙකුත් වාර්තා වී ඇති බවයි කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

පොළොන්නරුවෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ මහනුවරින් 58 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.  

මේ වන විට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 117,525 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 720ක් ලෙසයි.

කෙසේ වෙතත්, දිනෙන් දින මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන බැවින් සතියකට හෝ රට වසා දැමිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සම්මන්ත්‍රණ සහ සේවක හමු පවත්වන බවට තොරතුරු ලැබී ඇති බැවින් එසේ වුවහොත් ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ගැබිණි මව්වරුන්ට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබදව පැහැදිලි කිරීම සඳහායි.

ඊයේ දිනයේදී කොරෝනා හේතුවෙන් මෙරට ප්‍රථම ගැබිණි කාන්තා මරණය වාර්තා වූයේ රාගම – බටුවත්ත ප්‍රදේශයෙන්. එමෙන්ම තවත් ගැබිණි මව්වරුන් 5 දෙනෙකු දැඩි සත්කාර ඒකක වල සිටින බවයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්. ලියනගේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ.