ගෙවුණු දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව

0

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 42 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරිනි.

ඉතිරි ආසාදිතයින් 1897 දෙනා දිස්ත්‍රික්ක 24 කින් හඳුනා ගෙන ඇතැයි, එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 498 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 ක් ලෙස වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 117,529 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 16,720 කි.

ඊයේ (5) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 922 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස100,075ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වූයේ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව, ගෝනපළ, බුලත්කොහුපිටිය, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, වත්තල, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, කුරණ, දුම්මලසූරිය සහ කිරිබත්කුඹුර යන ප්‍රදේශවලිනි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 8,437දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.