පොකුණෙන් දිය නා ගත් දස හැවිරිදි දැරිය රෝගී වී මියයයි

0
Pond - පොකුණෙන් දිය නා ගත් දස හැවිරිදි දැරිය රෝගී වී මියයයි
සුරතල් මසුන් ඇති කිරීමට නිවසට යාබදව සිමෙන්ති යොදා ඉදිකළ පොකුණක ජලයෙන් ස්නානය කළ දස හැවිරිදි දැරියක් සති කිහිපයක් තිස්සේ විටින් විට රෝගාතූර වීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්වී තිබේ.

නිවස ආසන්නයේ සුරතල් මසුන් ඇති කිරීමට ඉදිකළ කුඩා පොකුණේ ජලයෙන් ස්නානය කිරීමෙන් අනතුරුව හදිසියේ උණ රෝගයක් වැලඳීමෙන් පසුව අවස්ථා ගණනාවකදී ප්‍රතිකාර ලබාගත් දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වූ අධිකාරි මුදියන්සේලාගේ මලිති සංසලා අධිකාරි දැරිය මෙසේ ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඇය වටරවුම් පාර මරදන්කඩවල ලිපිනයේ පදිංචිව සිටියාය.

ඇයගේ හදිසි මරණ පරීක්ෂණය අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න විසිනි.

එහිදී දැරියගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට වැඩිදුර පරීක්ෂණයක් සිදුකිරීමට ඔහු තීරණය කළේය. හදිසි මරණ පරීක්ෂණයට සාක්ෂි දුන් මරණකාරියගේ මව කියා සිටියේ සති කිහිපයකට ඉහතදී සුරතල් මසුන් ඇති කිරීමට නිවස ආසන්නයේ පොකුණක් ඉදිකළ බවයි.

ඉදිකළ පොකුණේ පුරවා තිබූ ජලයෙන් දැරිය එදිනම සවස ස්නානය කළ බවත් පැය කිහිපයකට පසුව දැරියට හදිසියේ උණ රෝගය වැලඳුණු බව මව කීවාය.

අවස්ථා කිහිපයකදීම ඇයට විටින් විට උණ රෝගය වැලඳුණු බවත් මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් පසුව උණ රෝගය උත්සන්න වීම නිසා දැරිය මරදන්කඩවල රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වූ බව දැනගන්නට ලැබුණු බව දැරියගේ මව නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම් ජයතිලක හමුවේ පැවසුවාය.