පොඩි කාලෙ ඉඳලම එයාගෙ ලෝකෙ වුණෙත් ක්‍රිකට්ම තමයි – ධනුෂ්ක ගුණතිලකගේ පියා

0
Danushka Gunathilaka පොඩි කාලෙ ඉඳලම එයාගෙ ලෝකෙ වුණෙත් ක්‍රිකට්ම තමයි – ධනුෂ්ක ගුණතිලකගේ පියා

එංගලන්ත සංචාරය අතරවාරයේදී සිදුවූ විනය කඩ කිරීමේ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු යලි මව්බිමට හරවා එවීමේ සිදුවීම පසුගිය සතිය තුල මෙරට තුල වඩාත්ම කතා බහට ලක්වූ සිදුවීම වුවා. එම ක්‍රීඩකයින් අතර සිටින ධනුෂ්ක ගුණතිලක ගේ පියා සමග “අරුණ” පුවත්පත සිදුකළ සම්මුඛ සාකච්ජාව පහතින් දැක්වේ..

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට දැන් ඉතිරිව ඇත්තේ පරාජයේ වේදනාව සහ රට නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ හැසිරීමේ ලැජ්ජාව දරාගැනීමට පමණි. ආපස්සට බැලුවද, ඉදිරිය බැලුවද ජයග්‍රහණයක් පේන තෙක් මානයක නැති තරම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුබා තිබියදී, වගකීම් විරහිත ලෙසින් අවේලාවේ වීථි සංචාරය කරන ක්‍රීඩකයන් තිදෙනාගේ දසුන ක්‍රිකට් ප්‍රේමී හදවත්වලට යවුල් පහර ඇන්නේය. ඒ අපේ පැත්තෙනි.

නමුත් එම හැසිරීම දැකීමේදී තමන්ගේ දෙසින් මෙන්ම එම හැසිරීම දුටු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රතිචාර දැකීමේදී එයින්ද පීඩාවට පත්ව, දෙපසින්ම තැලෙන පිරිසක් වෙති. ඒ මෙම ක්‍රීඩකයන්ගේ දෙමාපියන්ය. තමන් විසින් දහසක් බලාපොරොත්තු රඳවාගනිමින්, අනන්ත කැපකිරීම් කර ගොඩනගනු ලැබූ ලෝකයේ කිරුළ දරමින් සිටි පුතුන් මෙසේ අපවාදයට ලක්වද්දී, ඒ ලෝකය තම ඇස් පනාපිට සසල වද්දී, කඩා වැටෙද්දී ඒ දෙමාපියන්ට එය කෙසේ දැනෙනවා ඇත්ද…. අපි ඒ හඬට කන්දෙනු පිණිස ධනුෂ්ක ගුණතිලකගේ පියාට කථා කළෙමු. ඔහු කථා කළේ බිඳුණු ස්වරයෙනි. මේ සිදුවීම් මාලාව අවසානයේ හෙතෙම සිතින් පමණක් නොව ගතින්ද ගිලන්ව ඇති සෙයකි.

ඔහු නමින් රත්නසේනය. මැදිවිය ඉක්මවූවෙකි. ‘රත්තා අයියා’ යැයි කියූ විට වාද්දුවේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනන්නේ, අතමිට සරු නැති දාත් පොහොසත් සිතක් තිබූ අයකු ලෙසිනි. ඔහුද ක්‍රිකට් පිස්සෙකි.

“ඒ දවස්වල මහත්තයො මමත් මැච් එකක් අතාරින්නේ නැතිව බලනවා. අවුරුදු දෙකේ කාලෙ පටන්ම ධනුෂ්කත් මගෙ ඔඩොක්කුවේ ඉඳන් ටීවී එකේ මැච් බලන්න පුරුදුවෙලා හිටියා. ඒ නිසාමද කොහෙද පොඩි කාලෙ ඉඳලම එයාගෙ ලෝකෙ වුණෙත් ක්‍රිකට්ම තමයි”

අවුරුදු හතර පහේ ඉඳලම වැඩිපුරම සෙල්ලම් කළෙත් ක්‍රිකට්. මමත් එක්ක මිදුලේ සෙල්ලම් කරපු එයා ඉස්කෝලෙ ගිහිනුත් කළේ ක්‍රිකට් ගහපු එක තමයි.

“මුලින්ම එයා ඉස්කෝලෙ ගියේ වාද්දුවේ….”

එතැන් පටන් රත්නසේන මහතා තරමක් වෙලා නිහඬ විය. ඔහු අතීතය ස්මරණය කළේ අපහසුවෙනි. ඔහු වචන ඇමිණුවේ අපහසුවෙනි. අපි ඔහුව ප්‍රශ්න අසා වෙහෙස නොකළෙමු. ඒ, එම අතීතාවර්ජනයේ සමහරක් තැන්වලදී ඔහු වේදනා විඳින බව අපට වැටහුණු බැවිනි. තමන්ගේ කථාව නිදහසේ කියාගෙන යෑමට අපි ඔහුට ඉඩ දුන්නෙමු.

“වාද්දුවේ ඉස්කොලෙ ලෙදර් බෝල් ක්‍රිකට් තිබුණේ නැහැ. ඒ නිසා අපි මෙයාව පානදුරේ ඉස්කොලෙට දාලා පානදුරේ තිබුණු සජීව සර්ගෙ ක්‍රිකට් ඇකඩමි එකේ පුහුණුවට යැව්වා. එතැන ඉඳලා ධනුෂ්ක හොඳටම ක්‍රිකට් ගැහුවා. මුලින්ම එයා වේග පන්දු යවන්නෙක් විදිහට තමයි සෙල්ලම් කළේ. පස්සේ තමයි පිතිකරුවෙක් විදිහට හැදුණේ.”

ධනුෂ්ක මේ සා ගමනක් පැමිණියේ මහා යස ඉසුරු පිරිවරාගෙන නොවන බව අතීතය නොවලහා හෙළි කළ ඒ පියා අප සමග පැවැසීය.

“මම කරන්නේ බේකරි රස්සාව. නෝනා රස්සාවක් කළේ නැහැ. අපි එහෙම සල්ලිබාගෙ තිබුණු උදවිය නෙමෙයි මහත්තයෝ. ඒ දවස්වල එයා ඉස්කොලෙ යනකොට එයාට පළවෙනි ටුවර් එක ආවා. යන්න තිබුණේ ඉන්දියාවට. ඒකට එයාට රුපියල් 30,000ක් හොයාගන්න වුණා. ඒ වගේ කාලෙක ඒක අපිට ලොකු මුදලක්. එදා මම ගේ උගස් කරලයි මුලින්ම එයාව රට යවන්න සල්ලි හොයලා දුන්නේ.”

“සමහරක් දවස්වල එයාගෙ මැච් බලන්න, එයාගේ ෆ්‍රැක්ටිස්වලට එහෙම මමයි අම්මයි පානදුරේට ගිහින්, එයාට කන්න බොන්න ටික අරන් දුන්නහම අපිට බස් එකේ එන්නවත් සල්ලි නැති වුණ දවස් තියෙනවා. ඒ දවස්වල අපි පානදුරේ ඉඳන් වාද්දුවට පයින් ඇවිත් තියෙනවා. මොන තරම් බැරි අමාරුකම් තිබුණත් ධනුෂ්කට සෙල්ලම් කරන්න ඕනි කරන හැම දෙයක්ම අපි දෙන්නා අරන් දුන්නා

මේ විදිහට මෙයා පානදුරේ හොඳට සෙල්ලම් කර කර ඉන්නකොට ක්ලබ්වලින් එහෙම ඇවිත් එයාව ඉල්ලනවා. ඔහොම ඉන්නකොට දවසක් මහත්තයෙක් ඇවිත් දරුවව කොළඹ ඉස්කෝලෙට ගන්න කතා කළා. එදා මම කිව්වා අපිට එහෙම වියදම් කරගන්න අමාරුයි කියලා. ඒත් ඒ අය උදව් කරනවාය කියල පොරොන්දු වෙලා පුතාව ඒ ඉස්කෝලෙට ගත්තා. පුතා ඒ ඉස්කොලෙදිත් හොඳටම සෙල්ලම් කළා. ලෙමනේඩ් කුසලාන තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සහ හොඳම පන්දු රකින්නා වුණා. බිග් මැච් එකත් හොඳටම කරලා සම්මාන දිනාගත්තා. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරිලා යොවුන් ලෝක කුසලානටත් ගියා.

ඉස්සර එයාට ගෙදර ඉන්න නෑ, කට්ටිය එයාව එක්කගෙන යනව සොෆ්ට් බෝල් මැච් ගහන්න. ඒත් මෙයා හොඳට ලෙදර් බෝල ගහද්දි මෙයාට උපදෙස් දීලා තිබුණා සොෆ්ට් බෝල් ගහන්න එපා කියලා. ඒ වුණත් ගෙදර ඉන්න වෙලාවට කවුරු හරි සොෆ්ට් බෝල් මැච් එකක් ගහන්නය කියලා එක්කන් යන්න ආවොත් හොරාට ගිහින් සෙල්ලම් කරල ආපු වෙලාවලුත් ඒ දවස්වල තිබුණා. එහෙම ගියේ ගමේ දන්න කියන අයගෙ හිත රිද්දන්න බැහැ කියලයි.

ඒ දවස්වල මෙයා කොළඹ මැච්වලට යද්දි ගොඩක් වෙලාවට අම්මා එක්ක තමයි ගියේ. අම්මා පුදුම කැපකිරීමක් කළා පුතා වෙනුවෙන්. එයා එහෙම නොහික්මුණු කෙනෙක් නෙමෙයි. අපිටත් නංගිටත් ‍පුදුම බැඳීමක් තියෙන්නේ. අම්මටයි, මටයි නංගිටයි අහසෙ තරු විතරයි ගෙනත් දීලා නැත්තේ. ගමේ හැමදේටමත් උදව් කරනවා. නැති බැරි අයට රෝද පුටුවේ ඉඳල අරන් දීලා තියෙනවා. නිහඬවමයි උපකාර කළේ. නැති බැරි කෙනෙක්ට උපකාරයක් කළහම අපිටත් ඔහොම කාලයක් තිබුණනේ කියලා කියනවා මිසක් ඒවා සමාජ මාධ්‍යවල දාන්න යන කෙනෙකුත් නෙමෙයි. එක දවසක් එස්.එස්.සී එකේ මැච් එකක් ඉවර කරලා ගෙදර ආවේ බැනියම පිටින්. මැච් එක ඉවරකරලා වාහනයට නගින්න එනකොට ළමයෙක් ඇවිත් ටීෂර්ට් එකක් ඉල්ලලා. ඇඳගෙන හිටපු ටීෂර්ට් එක ගලවලා දීලයි ඇවිත් තිබුණේ. සෙල්ලම් කරන්න දාන සපත්තු දෙක පවා කාටහරි දීලා ආපු දවස් තියෙනවා. ඒ කොහොම වුණත් මෙයාගෙ අතින් වුණ දේ හරි දෙයක්ය කියලා අපි කියන්නේ නැහැ. එයත් දැන් ඒ ගැන පසුතැවෙන බව අපි දන්නවා. අපිටත් ගොඩක් වේදනයි. ඒත් වැරැද්ද නම් වැරැද්දම තමයි. අපි ඒක දන්නවා.”

ඒත් සුළු රැකියාවක් කරමින්, ‍ගේ දොරද උකසට තබා ඉහළටම රැගෙන ගිය දරුවකුගේ ජයග්‍රාහී ගමන, මේ අයුරින් ‍දෙදරා වැටෙද්දී මවක්, පියෙක් එය කෙසේ දරාගන්නද?

“කෝ ධනුෂ්කගෙ අම්මා…?”

අපි ඇසුවේ ඇය ‍පෙනේනට නොසිටි නිසාය.

“පන්සලට ගියා මහත්තයෝ බෝධි පූජාවක් තියන්න.”

ඒ බෝධි පූජාව කා වෙනුවෙන් දැයි නොඇසූ නමුත් ඒ අම්මා මේ මොහොතේ බෝධීන්වහන්සේ නමක් පාමුල කරන්නා වූ ප්‍රාර්ථනාව කුමක් දැයි අපි දනිමු.

( උපුටා ගැනීම : ඉන්ද්‍රජිත් සුබසිංහ – සතිඅග අරුණ පුවත්පත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here