නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාවයි – සද්ධාමංගල සූරියබණ්ඩාර

0
Nadagamkarayo නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාවයි - සද්ධාමංගල සූරියබණ්ඩාර

ඔහු ක්‍ෂේත‍්‍රයට පය තබන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරුවකු ගේ භූමිකාව සිදුකරන්නටය. අන්තිමේ නිවේදකයා, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයා රංගන ශිල්පියා වගේම ගීත රචකයාගේ භූමිකාවද සිදුකරන්නට ඔහුට අවස්ථාව ලැබුණා.

අද දවසේ අපේ මේ කථානායකයා ඔබට හමුවන්නේ පිටපත් රචකයා ගේ භූමිකාව හරහායි. ඇත්තටම ඒ හරහා ඔහු මෙරට පේ‍්‍රක්‍ෂකයාට දැනෙන නිර්මාණ ඉදිරිපත් කර ඇත. ඒ අතුරින් කළු අරලිය, අඟුරු සිත්තම්, මොණර කඩදාසි, හාර කෝටිය, කෝටිපතියෝ, හංස පිහාටු, සිල්ලර සමනල්ලූ සුවිශේෂීය. අද දවසේ අපේ මේ කථානායකයා ඔබට හමුවන්නේ ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරන නාඩගම්කාරයෝ හා පාර දිගේ ටෙලි නිර්මාණවල පිටපත් රචකයා ලෙසය.

මේ ඒ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර ගේ හඬයි.

* මේ දවස්වල ඔබේ පිටපත්වලින් වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ නාඩගම්කාරයෝ පිටපතටද? නැතිනම් පාර දිගේ පිටපතටද?

නාඩගම්කාරයන්ට තමයි.

* නාඩගම්කාරයන්ට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

ගොඩක් ලැබෙන්නේ ධනාත්මක ප‍්‍රතිචාර. තවම කවුරුත් චෝදනා මුඛයෙන් කතාකරලා නෑ. යම් යම් පොඩි පොඩි අඩුපාඩු පෙන්වාදීම් කරලා දෙනවා.

* මේ පිටපතට මූලික අඩිතාලම වැටුණේ කොහොමද?

මගේ ගම නුවර. නුවර වටපුළුව කියන ගමේ තමයි මම ජීවත්වුණේ. මගේ අප්පච්චි සංගීත ගුරුවරයෙක්. එතකොට අප්පච්චි ගමේ තරුණ තරුණියන් එකතුකරගෙන මේ විදිහේ දේවල් කරලා තියෙනවා. ගොඩක්ම අරමුණක් නැතිව හිටපු තරුණයෝ කණ්ඩායමක් එකතුකරලා කැළුම් කලාකවය කියලා කලා කවයක් හදලා නාට්‍ය කළා. ඕක තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්ලොට් එකවුණේ.

* පිටපත ලිව්වේ සරාගේ චරිතයට සජිතව ඔළුවේ තියාගෙනමද?

නැහැ. මම සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න නළු නිළියන් ඔළුවේ තියාගෙන පිටපත් ලියන්නේ නැහැ. එහෙම ලියනවා කියන්නේ මම එකතැනකට කොටුවෙනවානේ. සාමාන්‍යයෙන් අපි දැන් දන්නවානේ ලංකාවේ නළු නිළියන් මෙහෙයවන විදිහත්. පෙම්වතා ගේ චරිතය දිගටම කළානම් ඔහුව පෙම්වතාට කොටුකරලා තියනවා. හැබැයි මම කරන්නේ චරිත නිර්මාණය කිරීම. ඊට පස්සේ අපේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න නළු නිළියන්න් කවුද ගැළපෙන්නේ කියලා තෝරනවා. එතකොට අපිට අංක එකට ආවේ සජිත තමයි.

* නාඩගම්කාරයෝ කතාව ඇදුනා වැඩියි කියලා හිතෙන්නේ නැතිද?

නැහැ. මෙහෙමයි. සාමාන්‍යයෙන් දිනපතා විකාශනය වන ටෙලිනාට්‍ය කාලයක් යන ඒවා දිනපතා යන ටෙලිනාට්‍යවල ලෝකයේ කොහෙත් ස්වභාවය ඕක තමයි. මට දැනට නම් ඔබ කියනකම් ඇදෙනවා වැඩියි කියලා කවුරුවත් කියලා නැහැ. නමුත් කොහොමත් මම මේක ගොඩක් ඇදගෙන යන්න සූදානමක් නැහැ. මම හැම ති්ස්සෙම විශ්වාස කරන දෙයක් තමයි නාට්‍යයක් වුණත් පීක් එකේදී තමයි නතර කරන්න ඕනෑ. නැතිනම් ඔබ කියන කතාව කියන්න පටන් ගන්නවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. නමුත් සාමාන්‍යයෙන් පිටපත් රචකයාට විතරක් ලංකාවේ ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ තීරණ ගන්න අමාරුයි.

* කැකුලන්දරව කරළියට ගෙනාවේ නාට්‍යයේ අවධානය වෙන අතකට යොමු කරන්නද?

නැහැ. එහෙම නැහැ. මේ නාට්‍ය මුල මැද අග දැනගෙන තමයි පිටපත ලියන්නේ. මේකේ අග දැනට මම දන්නවා. කැකුලන්දර කියන චරිතය මම කොහොමත් ගේන්න හිටියා. මොකද කුකුලා ලකුණෙන් දේශපාලනයට සම්බන්ධ වෙන පිරිසක් හිටියානේ. ඔවුන් අතරේ කැුකුලන්දර හිටියා. ඒක මම පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගැනීම වෙනුවෙන්ම නෙමෙයි ගෙන ආවේ. නමුත් පේ‍්‍රක්‍ෂක අවධානය දිනාගැනීම වෙනුවෙන්ම චරිත ගේන එක සහ චරිත මරන එක දීර්ඝ නාට්‍යවල ස්වභාවයක්.

* සරා අවසානයේ පාඨලීව කසාද බදිනවා නේද?

ඒක දැන්ම කියන්න බැහැනේ. කිව්වොත් එහෙම පේ‍්‍රක්‍ෂකයාගේ රසවින්දනයට බාධාවක්.

* ඔබ ගොඩක් නාට්‍ය නිර්මාණය කරන්නේ ශිවගුරුනාදන් සමඟ. ඔහුත් සමඟ වැඩකරද්දී ගැටුම් ඇතිවෙලා නැතිද?

නැහැ. මෙහෙමයි. මගේ පිටපතක් මුලින්ම ශිවා අධ්‍යක්‍ෂණය කළේ කළුඅරලිය කියන ටෙලි නාට්‍ය. ශිවායි මමයි වැඩකරලම අපි දෙන්නා අතරේ හොඳ අවබෝධයක් තියෙනවා. මම දන්නවා ශිවාගේ ටේස්ට් එක. ශිවා දන්නවා මගේ ටේස්ට් එක. ඒක නිසා අපි දෙන්නා අතරේ වගේම චාමර සමරවික‍්‍රම නිෂ්පාදකවරයා සමඟ තමයි දිගටම වැඩකළේ. නළු නිළියෝ තෝරාගැනීමේදී වුණත් අපි තුන්දෙනාම එකතුවෙලා සාකච්ඡා කරලා තමයි තීරණ ගන්නේ. ඒ අතරේදී මගේ ශිවාගේ සහ චාමරගේ අදහස් නොගැළපීම් ඕනෑ තරම් එනවා. ඒ වගේ වෙලාවට ගැටුම් ඇතිකරගන්නේ නැහැ. සංවාද සාකච්ඡුා යනවා. නමුත් අවසානයේ අපි නිර්මාණය වෙනුවෙන් තමයි කොයිදේත් කරන්නේ.

* නාඩගම්කාරයන්ට වඩා වෙනස් අදහස්ද පාරදිගේ පිටපතට ලැබෙන්නේ?

ඔව්. පාරදිගේ වෙනස් කතාවක්. ගොඩක්දුරට මම ටෙලිනාට්‍ය ලිව්වේ අපරාධ. පාතාලයට සම්බන්ධ තේමාවන්. එහෙම නැති නාට්‍යයක් තියෙනවා. රාජයෝගය, අමුතු රසිකයා, කළු කුරුල්ලා එවැනි නාට්‍ය. එතකොට පාර දිගේ කියන්නේ ඊට සමාන තේමාවක් නාඩගම්කාරයෝ තේමාවට වඩා වෙනස් තේමාවක්. පාර දිගේ කියන්නේ මට සුපුුරුදු තේමාවක්. සාමාන්‍යයෙන් මම නිතර අතගාපු වර්ගයේ තේමාවක්.

* පාර දිගේ ටෙලිනාට්‍යයේ නළු නිළියන් තෝරාගැනීම කළේ කොහොමද?

ඒකත් අර ක‍්‍රමයට තමයි. මෙහි නිෂ්පාදකවරයාත් චාමර සමරවික‍්‍රම. අපි තුන්දෙනාම සාකච්ඡා කරලා තමයි නළු නිළියන් තෝරාගන්නේ.

* පාර්ලිමේන්තු මන්ත‍්‍රී උද්දිකව ඔළුවේ තියාගෙනද පාරදිගේ පිටපත ලිව්වේ.

නැහැ. අපි ඔය චරිතය ගොඩනගලා මේකට සුදුසු නළුවන් කිහිපදෙනෙක් ගැනම සාකච්ඡා කළා. ශිවාට මම පිටපත දුන්නාට පස්සේ ශිවාට මැවෙන චරිත තියෙනවා. අපි තුන්දෙනාම කතාකරලා තමයි උද්දිකව යෝජනා කළේ. උද්දික මගේ ටෙලි නාට්‍ය දෙකක වැඩකරලා තියෙනවා.

* උද්දික මේ චරිතයට කැමැති වුණාද?

ඔව්. ඔව්. බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා. උද්දික කොහොමත් ශිිවාගේ නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා. චිත‍්‍රපටවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඔහුට යමක් කරන්න තියෙනවා කියලා විශ්වාසයක් තියෙන්නත් ඇති.

* පාර දිගේ පිටපත නානායක්කාර මුදලාලිලා වටාද ගලාගෙන යන්නේ?

එහෙමත් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි මේ වගේ නාට්‍යයක් නිර්මාණය කිරීමේදී කතා සංකල්ප කිහිපයක් මේක ඇතුලේ ගලාගෙන යනවා. ප‍්‍රධාන ධාරාවේ කතාවක් යනවා. ඊට අමතරව අතුරු කතා කිහිපයක් යනවා. එතකොට ප‍්‍රධාන කතාවට සම්බන්ධ අතුරු කතා. ඒවට අවශ්‍ය විදිහට තමයි අපි චරිත තෝරාගන්නේ සහ චරිත ගොඩ නැගෙන්නේ. සමහර චරිත සමහර කාලෙට ඉස්මතු වෙනවා. යටයනවා ඒක තමයි දීර්ඝ නාට්‍යවල තිරපිටපත්වල ස්වභාවය නානායක්කාර කියන චරිතයත් මේ නාට්‍ය තුළ එක්තරා සුවිශේෂ චරිතයක්.

* ඔබේ පිටපත් පාතාලයට සම්බන්ධවයි එහෙමත් නැතිනම් දාමරික චරිත මූලික කරගෙන නිර්මාණය වෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

එහෙමම නැහැ. මම රූපවාහිනියෙ ඉන්න කාලේ ඇඟිලි සලකුණ කියන වාර්තා වැඩසටහන කළා. ඒකෙදී මම එක එක ක්‍ෂේත‍්‍රවල එක එක දේවල් කරපු මනුස්සයෙක්. ඇඟිලි සලකුණ එක්ක තමයි ඔය ආභාෂයේ ටෙලිනාට්‍ය නිර්මාණය වුණේ. නමුත් ඒක මම හිතාමතා කරන දෙයක් නෙමෙයි.

* නාඩගම්කාරයෝ හාමුදුරුවෝ මේ දවස්වල හරි ජනපි‍්‍රය චරිතයක් නේද?

රහල්ව තෝරාගන්නේ මමයි ශිවයි. ශිවා තමයි ඇත්තටම රහල්ට කතාකළේ. ඒකත් සාමාන්‍යයෙන් අපි බලපුවහම රහල් ගේ සාමාන්‍ය ස්වභාවය හාමුදුරුකෙනෙකුට ගැළපෙනවද නැතිද කියලත් පොඩි ගැටලූවක් තියෙනවා. හාමුදුරු කෙනෙකුට රහල්ව ගන්නවාද කියලා.

* ඔබ පිටපතින් සූක්‍ෂ්ම ලෙස ධර්මය ප‍්‍රචාරය කිරීම වගේම පන්සලින් වෙන්න ඕනෑ කාර්යභාරය කුමක්ද කියල සමාජයට දෙන්න උත්සාහ කරනවා කිව්වොත්?

ලොකු හාමුදුරුවෝ මගේ පිටපතේ තියෙන එක අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ. මම විශ්වාස කරන දෙයක් තමයි බුද්ධ දර්ශනය තමයි ලෝකයේ තියෙන වටිනාම දර්ශනය. මේ බුද්ධ දර්ශනය අපි හරි විදිහට පාවිච්චි කළොත් අපිට සියළු දේවල් වලට උත්තර හොයාගන්න පුළුවන්. දැනට මට තියෙන ප‍්‍රශ්නය අපි මේ අදහන්නේ බුද්ධ දර්ශනයද කියන ගැටලූව. මම නාඩගම්කාරයෝ ඇතුලේ බුද්ධාගම උගන්වන්න උත්සාහ කරන්නේ නැහැ. හාමුදුරුවෝ ජීවත්විය යුතු ආකාරය ගැන පාඩම් කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මම විශ්වාස කරන භික්‍ෂුව මෙයයි කියලා කියන්න උත්සාහ කරනවා. ඒක අනික් අය පිළිගන්න නොපිළිගන්න එක ඔවුන් ගේ වැඩක්.

* අග්නි පියාපත් පිටපතේ අවසානය අසාර්ථකයි කියලා පේ‍්‍රක්‍ෂකයා අතර කතාබහක් ඇතිවුණා නේද?

එක එක්කෙනාගේ අදහස් විවිධාකාරයි. සමහරු කියනවා ඒකේ අවසානය හොඳයි කියලා. සමහරු කියනවා අවසානය හොඳ නැහැ කියලා. මම ඒ සියළු අදහස් පිළි ගන්නවා. අවසානයේ හොඳයි හොඳ නෑ කියන දෙකම පිළි ගන්නවා. ‘අග්නි පියාපත්’ පිටපත හදිසියේ ඉවර කළේ නෑ. අපි කොහොමටත් කොටස් දෙසීයට තමයි සැලසුම් කළේ.

(දිවයින පුවත්පත ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here