මහ සයුර මැද හටගත් ගින්න (වීඩියෝ)

0
Fire in Sea - මහ සයුර මැද හටගත් ගින්න (වීඩියෝ)
මෙක්සිකෝ බොක්කේ සාගර පතුලෙහි විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

එහි පතුල ඔස්සේ විහිදෙන පරිදි ඉදිකර තිබු ගෑස් නළ පද්ධතියක් සිදු වූ කාන්දුවක් මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම ගින්න එම මුහුද අවට විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබු බව ද සඳහන්.

ගින්නෙහි අධික උෂ්ණත්වය හේතුවෙන්, එම මුහුදු ප්‍රදේශය පුරා සාගර ජලය බුබුළු දමා පැසෙමින් (boiling) පැවැති බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ළඟාවීමට පවා අදාළ අංශවලට මහත් අසීරුතාවලට ද මුහුණ දීමට සිදුව තිබුණා.

පැය 5කට ආසන්න කාලයකට පසුව මෙම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ගිනි නිවීමේ අංශ සමත් වුණා.

ජලය මතුපිට සිට මීටර 150ක් පමණ ගැඹුරු පතුලෙහි මෙම ගෑස් කාන්දුව හටගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ගින්න හටගත් ස්ථානය ආසන්නයේ “තෙල් අට්ටාලයක්” ද පවතිනවා.

මෙම නල පද්ධතිය මෙක්සිකෝ රජයට සම්බන්ධ සමාගමකට අයත් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් මිනිස් ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැහැ.

එහෙත් මේ ආකාරයෙන් සාගරය තුළ සහ මතුපිට විශාල වපසරියක ජලය අධික උෂ්ණත්වයකට ලක් වීම මත සාගර ජීවීන් විශාල පිරිසකට දිවි අහිමි වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

මේ අතර මෙම ගෑස් කාන්දුව සහ එය ගිනිගැනීම පිටුපස පවතින හේතු පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බව එම නල පද්ධතිය හිමි සමාගම අවධාරණය කරනවා.