ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක 04කින් වාර්තා වෙයි

0
Delta Variant - ඩෙල්ටා ප්‍රභේදය දිස්ත්‍රික්ක 04කින් වාර්තා වෙයි

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගනු ලැබූ B.1.617.2 හෙවත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් හඳුනා ගැනීමට හැකිවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය සඳහන් කර සිටිනවා.

මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් මේ වන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nextstrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කොට තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, කොලොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මිට පෙර සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබුවා.

මේ අතර B.1.1.7. ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පර්යේෂණ වාර්තා වේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් සිදුකළ මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත භාරදී ඇති බවයි අප සිදුකළ විමසීමකදී එහි අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

ආචාර්ය චන්දිම ජිවන්දර මහතා අද දිනයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සැලකිය යුතු ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත.

(නෙත් NEWS වෙබ් අඩවිය ඇසුරිනි)