පස් හැවිරිදි දැරියක් ලවා රන් භාණ්ඩ කොල්ල කන එකම ගෙදර කල්ලිය

0
Gold - පස් හැවිරිදි දැරියක් ලවා රන් භාණ්ඩ කොල්ල කන එකම ගෙදර කල්ලිය
රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් වෙළෙඳසල්වලට ඇතුළු වී පස් හැවිරිදි කුඩා දැරියක් ලවා රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමේ යෙදුණු පස්දෙනකුගෙන් යුත් එකම පවුලේ පිරිසක් පිටකොටුව, ගෑස්පහ හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මවක්, දියණියක්, වයෝවෘද්ධ පුද්ගලයෙක් මෙන්ම සොරකම සඳහා යොදා ගත් පස් හැවිරිදි දැරිය සහ අත දරුවෙක් ද අත්අඩංගුවට පත් වූවන් අතර සිටිනවා.

පසුගිය විසිදෙවැනි දින පිටකොටුව හෙට්ටිවීදිය රන් ආභරණ වෙළෙඳසලකින් රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් මාලයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් එම වෙළෙඳසලේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙදෙනකු, වයෝවෘද්ධ පුද්ගලයකු සහ කුඩා දරු දෙදෙනකු සමඟ වෙළෙඳසලට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් කතාබස් කරන අවස්ථාවේදී කුඩා දැරිය වීදුරු අල්මාරියක ප්‍රදර්ශනය කර තිබූ රන් මාලය සොරාගන්නා අයුරු සටහන්ව තිබුණා.

එම දර්ශන අනුව සිදුකළ විමර්ශනවලදී එම පිරිස ඊයේ (1) වත්තල ප්‍රදේශයේ සිට පිටකොටුවට බස් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අනුරාධපුරය, කුරුණෑගල, ගල්ගමුව, කිරුළපන හා දිගන ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල්වලට රන් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් ගොස් කුඩා දැරිය ලවා රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇති බවට සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව වාර්තා වනවා.