බස්නාහිර කොවිඩ් ව්‍යාප්තිය දරුණුයි! එන්නත කඩිනම් කෙරේ!!

0
Covid Spread - බස්නාහිර කොවිඩ් ව්‍යාප්තිය දරුණුයි! එන්නත කඩිනම් කෙරේ!!
බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොවිඩ් ව්‍යාප්තිය සෙසු ප‍්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බව නවතම සෞඛ්‍ය වාර්තා මගින් තහවුරු වී තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය මගින් නිකුත් කරන ලද ඉකුත් දින හතක වාර්තා අනුව ඒ බව පෙනී යයි.

එවන් තත්ත්වයක් තිබියදී ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මේ වන විට කටයුතු සිදුවෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරයි.

මේ තුළින් ඉදිරියේදී රටම ඉතා අවදානම්කාරී තත්ත්වයකට පත්විය හැකි බව ද එම සංගමය සඳහන් කරයි.

ඇතිවී තිබෙන අවදානම්කාරී බව හමුවේ බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් එය වේගවත් කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ රෝහල් 18කත් ගම්පහ රෝහල් 17ක සහ කළුතර දිස්ති‍්‍රක්කයේ රෝහල් 10කත් අද දිනයේත් එන්නත්කරණ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

විශේෂයෙන් මෙහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ඉලක්ක කර එන්නත්කරණය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙයි. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩි වශයෙන්ම ම රණයට පත්වන්නේ වැඩිහිටි ප‍්‍රජාව බවට මේ වන විට පැහැදිලිව ම හඳුනාගෙන තිබීම එයට හේතුවී ඇත.

මේ අනුව මෙරට තුළ එක් දිනකදී ලබාදුන් වැඩිම එන්නත් ප‍්‍රමාණය පෙරේදා (30) දිනය තුළ ජනතාවට ලබාදීමට ද සෞඛ්‍ය අංශ සමත් වී තිබිණි.

එහිදී ලබාදුන් එන්නත් ප‍්‍රමාණය 173520 කි. එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව පුද්ගලයන් 91759 දෙනකුටත් එහි දෙවැනි මාත‍්‍රාව පුද්ගලයන් 79236දෙනකුටත් ලබාදී ඇත.

එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව මේ වන විට සයිනොෆාම් එන්නත පුද්ගලයන් 2433852දෙනකුට ලබා දී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඒ අතරින් පුද්ගලයන් දහහත්ලක්‍ෂ හතළිස් නව දහස් පන්සියයකට සයිනොෆාම් පළමු මාත‍්‍රාව මේ වන විට ලබා දී ඇති අතර මාත‍්‍රා දෙකම ලබා දී ඇති පිරිස 684352 කි.

(දිවයින පුවත්පත ඇසුරිනි)