පිළියන්දල හා කැස්බෑව ‘හුදෙකලා බවින් නිදහස් කිරීම ගැන‘ වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය

0

කොවිඩ් රතු කලාප ලෙස නම් කර ඇති පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරයේ හෙළා දකින අතර එයට දැඩි විරෝධය පළ කරන බව සඳහන් කරනවා.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කෙරෙන නියෝග තාක්ෂණික වශයෙන් කිසිදු දැනුමක් හා අවබෝධයක් නොමැති දේශපාලනඥයන් විසින් මේ අන්දමට හිතුමතේ අවලංගු කිරීමෙන් කොවිඩ් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් කඩාකප්පල් කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම සංගමය සඳහන් කරනවා.

පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශවල පසුගිය දිනවල සීග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති වීම නිසා එම ප්‍රදේශ රතු කලාප ලෙස නම් කිරීමෙන් පසු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හුදෙකලා කිරීමට නියෝග පනවනු ලැබුවා.

එසේ හුදෙකලා කර පැය 24ක් ගත වෙද්දී දේශපාලන මැදිහත්වීමෙන් එම නියෝග අවලංගු කර ඇතැයිද ඒ අනුව මේ වන විට එම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම නිසා සංචරණ කටයුතු සිරිත් පරිදි සිදුකෙරෙමින් පවතින බවත් මේ තත්ත්වය යටතේ එම ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තම රාජකාරි කටයුතු කිරීමට දැඩි ලෙස බාධා පැමිණෙමින් පවතින බවත් බෙම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මව්බිම පුවත්පතට සඳහන් කර තිබෙනවා.