දඹුල්ල නගරය කොවිඩ් නිසා බරපතල තත්වයක – හෙට සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කෙරේ

0

දඹුල්ලේ කොවිඩ් -19 වසංගත තත්ත්වය බරපතළ වෙමින් පවතින බව දඹුල්ල නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා අද (04) පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 60 දෙනෙකු පමණ දඹුල්ල මහනගර සභා බලප්‍රදේශයේ නිවෙස්වල රැඳීසිටින බවය.

ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට නොහැකි  තත්ත්වයක පසුවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

සිය බලප්‍රදේශයට අයත් සීමාව තුළ ආසාදිතයින් 90කට වඩා වැඩි පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ දඹුල්ල නගරය මේ වනවිට බරපතළ තත්ත්වයකට පත්වෙමින් පවතින බවය.

නගරයේ තොග වෙළෙඳසැල් සේවකයන්ගේ සිදුකරන ලද PCR  පරීක්ෂණවලදී තොග වෙළෙඳසැල් රැසක පුද්ගලයන් 47 දෙනෙකුට අධික පිරිසක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව දඹුල්ලේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග වෙළෙඳසැල් සියල්ලම වසා දැමු බවද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව හෙට උදෑසන 05 සිට නැවත විවෘත්ත කිරීමට රජය තීරණය කර තිබෙනවා