ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

0

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1923 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයෙකු මෙරටට පැමිණි විදේශිකයින් අතරින් හඳුනා ගෙන ඇත.

ඉතිරි ආසාදිතයින් 1913 දෙනා දිස්ත්‍රික්ක 24 කින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය බදුල්ලයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 529 කි.

ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 264 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 232 ක් ලෙස වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 154 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 122කි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 14,758 කි.

ඊයේ (4) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 967 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 98209 ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 13 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වූයේ, මෝදර, බුලත්සිංහල, දිවුලපිටිය, මීගමුව, නුවරඑළිය, මාවිල්මඩ , මාලබේ (මරණ 2ක්), බොරැල්ල, පානදුර, ජා ඇල, නිට්ටඹුව සහ ගම්පහ ප්‍රදේශවලිනි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන110 ක් තුළ පුද්ගලයින් 10,981 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.