දරු දෙදෙනාටත් පහරදී බේබදු සැමියා බිරිඳ සමඟ රණ්ඩු වී නිවසට ගිනි තබලා

0
House - දරු දෙදෙනාටත් පහරදී බේබදු සැමියා බිරිඳ සමඟ රණ්ඩු වී නිවසට ගිනි තබලා
සැමියා තමන් සමඟ බහින්බස්වී නිවසට ගිනි තැබූ බවට බිරිඳක් මාදම්පේ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

තමන් දුම්මලසූරිය ඇඟලූම් ආයතනයක රැකියාව කරන බවත් තමා රැකියාවට යෑමට පෙර රුපියල් 5000 ක මුදලක් සැමියා අතට දී ඉඩම ශුද්ධ කිරීමට පෙට‍්‍රල් ගෙන එන ලෙස දන්වා රැකියාවට ගිය බවත් සවස 6.30 ට පමණ නිවසට පැමිණි බවත් පැමිණිල්ලෙන් කියා ඇත.

එවෙලේ ඔහු නිවසේ නොසිටි බවත් ටික වේලාවකින් සැමියා බීමත්ව පැමිණි බවත් එවෙලේ තමා පෙට‍්‍රල් ගෙන ඒමට දුන් රුපියල් 5000 න් ඉතිරි මුදල් ඉල්ලා සිටිවිට ඔහු තමාට රුපියල් 3000 ක් දුන් බවත් රුපියල් 2000 ක් පෙට‍්‍රල්වලට වියදම්වී නොතිබූ නිසා ඉතිරි මුදල් කෝ කියා විමසූ විට ඇඳ සිටි කලිසමේ සාක්කුව ඇද ඉතිරි මුදල් වැටී ඇති බව කී බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

ඉන්පසු මුදල් අඩුවෙන් දීම ගැන තමා සැමියා සමඟ බහින්බස්වී නිවසේ පිළිකාවක් සෑදී සිටින තම ලොකු පුතාද කැඳවාගෙන සැමියාගේ මවගේ නිවසට ගොස් නැවත රාත‍්‍රී 7.30 ට පමණ තම නිවසට පැමිණි බවත් ඒ එන විට සැමියා තම දෙවැනි පුතා සමඟ රණ්ඩුවෙමින් සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඇය පැමිණිල්ලෙන් මෙසේද කියා ඇත. දෙවෙනි පුතා සමඟ රණ්ඩුවෙමින් සිටි සැමියා මාත් සමඟ පැමිණි ලොකු පුතාගේ හිසට පහරක් ගැසුවා. ඉන්පසුව සැමියා තමා මිලදී ගෙන තිබූ බිම සිටවන විදුලිපංකාව, අල්මාරියේ කණ්ණාඩිය, රූපවාහිනිය කඩා බිඳ දමා නිවසේ දොරවල් වසා නිවසේ තිබූ මෙට්ට 04 ක් හා කොට්ටා සමඟ ඇඳ ඇතිරිලි ගේ තුළ දමා ගිනි තැබුවා.

එම ගින්නෙන් වහළයේ පරාල ගිනිගෙන උළු කැට පිපිරී විදුලියද විසන්ධි වී මේන් ස්විච් එක පුපුරා ගියා යැයි කියා ඇත.

සැකකරු සැඟවී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

(දිවයින පුවත්පත ඇසුරිනි)