ඩෙල්ටා ප්‍රභේදය ගැන සැකයක්! මාදිවෙල ප්‍රගතිපුර හුදකලා කරයි

0
Isolated - ඩෙල්ටා ප්‍රභේදය ගැන සැකයක්! මාදිවෙල ප්‍රගතිපුර හුදකලා කරයි
මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය බවට සැකකෙරෙන කොවිඩ් ප්‍රභේදයක් ආසාදිත පුද්ගලයෙකු පසුගිය දා හඳුනාගැනීමත් සමඟ එම පියවර ගෙන තිබේ.

මේ අතර එම පුද්ගලයාගේ ආශ්‍රිතයෙකු බව කියන කාන්තාවක් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සැකකටයුතු කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයාට වැළඳි ඇත්තේ කුමන ප්‍රභේදය ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයින් නිසි පරීක්ෂණ සඳහා යොමුකර තිබියදීත් මෙරටට නව කොවිඩ් ප්‍රභේද ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්ය‍ හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ලෝකයේ භාවිත කරන හොඳම පරීක්ෂණ සිදුකරන බවත් සියයට එකක් වැනි ප්‍රතිශතයකින් වෛරසය රට තුළට ඇතුළු වුවා විය හැකි බවය.