මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා පියා විසින් කපා කොටා මරා දමයි

0
Kid - මවගේ තුරුලේ කිරි බොමින් සිටි බිළිඳා පියා විසින් කපා කොටා මරා දමයි
ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු බිළිදියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකොට ඇත.

ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු 21 වන වියෙහි පසුවන්නෙකි.

15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරු විසින් තියුණු ආයුධයකින් බිරිඳගේ මවගේ අතක් කපා දමා තිබෙනවා අතර එම ප්‍රහාරයෙන් ඇයගේ අත වලලුකර ප්‍රදේශයෙන් වෙන්ව තිබුණා.

ප්‍රදේශවාසීන් විසින් කැපුම් තුවාල ලබා සිටි 43 හැවිරිදි කාන්තාව ත්‍රීකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය හා පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රහාරයෙන් පසුව සැකකරු පළාගොස් සැඟව ඇති අතර පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.