කොවිඩ් ආසාදිතයන් බහුල වන ප්‍රදේශවලට සංචරණ සීමා දැඩි කිරීමට අවධානය

0
Genaral Shavendra Silva - කොවිඩ් ආසාදිතයන් බහුල වන ප්‍රදේශවලට සංචරණ සීමා දැඩි කිරීමට අවධානය
කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වන ප්‍රදේශවලට ඉදිරියේදී දැඩි සංචරණ සීමා පැනවිය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ එලෙස ආසාදිතයින් හමුවන ප්‍රදේශ අයත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර මෙම සංචරණ සීමා දැඩි විය හැකි බවයි.

කොරෝනා මර්දනයට ජනතාවගේ සහාය තවදුරටත් අපේක්‍ෂා කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,248 දෙනෙකු වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 54 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ 2,500 සීමාව ඉක්මවා ගියා.

මේ අතර ඉන්දීය කොරෝනා ප්‍රභේදය හෙවත් ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටින් හදුනා ගැනුනු දෙමටගොඩ ආරාම ප්‍රදේශයේ 200 සහ 201 වතු ආශ්‍රිතව ඊයේ සිදු කෙරුණු පී සී ආර් පරීක්‍ෂණවලින් පුද්ගලයන් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම පරීක්‍ෂණ සදහා යොමු කෙරුණු පිරිස 129 ක්. කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය ද යන්න පිළිබද පරීක්‍ෂා කිරීම සදහා ඔවුන්ගේ පී සී ආර් නියැදි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.