21 සිට 23 තෙක් දුම්රිය 17 ක් සහ ලංගම – පෞද්ගලික බස් පළාත් තුල ධාවනයේ

0
Train and Bus - 21 සිට 23 තෙක් දුම්රිය 17 ක් සහ ලංගම - පෞද්ගලික බස් පළාත් තුල ධාවනයේ

සංචරණ සීමා ලිහිල් කෙරෙන ලබන 21 වනදා අලුයම 4 සිට 23 වනදා රාත්‍රි 10 තෙක් කාළය තුල පළාත් තුළ පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය 17 ක් සහ ලංගම හා පෞද්ගලික බස්රථ යම් සංඛ්‍යාවක් දිවයිනපුරා පළාත් තුල ධාවනය කෙරෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේ.

දුම්රිය සහ බස්රථ සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරුණද අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ප්‍රවාහන සේවා භාවිත කරන ලෙසයි දිලූම් අමුණුගම මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

දුම්රිය 17 ක් ධාවනයට සූදානම්

සංචරණ සීමා ලිහිල් කෙරෙන ලබන 21 වනදා අලුයම 4 සිට 23 වනදා රාත්‍රි 10 තෙක් කාළය තුල ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක් / මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 04 ක් / කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක් හා පුත්තලම් මාර්ගයේ දුම්රිය 03 ක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා කියාසිටියේ ලබන බදාදා රාත්‍රී 10 ට නැවත සංචරණ සීමා පැනවෙන තෙක් දුම්රිය ධාවනය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය 03 ක් / මීරිගම දුම්රිය ස්ථානයෙන් දුම්රිය 01 ක් / වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 01 ක් / ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 01 ක් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

මුහුදුබඩ මාර්ගයේ අලූත්ගම සිට දුම්රිය 04 ක් / කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට දුම්රිය 02 ක් හා පාදුක්කේ සිට දුම්රිය 02 ක්ද ගමන් ආරම්භ කෙරෙනවා.

හලාවත මාර්ගයේ, කොච්චිකඩේ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 01 ක් සහ මීගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය 02 ක් ද කොළඹ දක්වා පැමිණිමට නියමිතයි.

මීට අමතරව ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ සහ මීරිගම සිට පැමිණෙන දුම්රිය දෙකක් පානදුර දක්වා දීර්ඝ කිරීමට නියමිත බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කලා.

ඊට අමතරව මහනුවර, පොල්ගහවෙල, අනුරාධපුර යන ප්‍රදේශවල ද දුම්රිය ධාවනය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.