සංචරණ සීමා දීර්ඝ වෙයිද? තීරණය අද පස්වරුවේ

0
Genaral Shavendra Silva - සංචරණ සීමා දීර්ඝ වෙයිද? තීරණය අද පස්වරුවේ
ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ අද පස්වරුවේ රැස්වන කොවිඩ් කාර්යය සාධක බලකා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කෙරෙන බවයි. 

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් නව ක්‍රමෝපායන් මේවනවිට සකස් කරමින් සිටින බවයි. 

මේ අතර ඊයේ දිනයේ පැය 12 ක කාලයක් තුළ බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 20,000 ක් සහ පුද්ගලයින් 27,728 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 1803 ක් හා පුද්ගලයින් 2783 දෙනෙකු ආපසු හරවා යැවුණා. දැඩි ලෙස සංචරණ සීමා හා නිරෝධායන රීති උල්ලංඝණය කළ වාහන 71 ක් සහ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.