අනියම් සැමියාගේ කතුරු පහරින් දෙදරු මව මරුට

0
Murder - අනියම් සැමියාගේ කතුරු පහරින් දෙදරු මව මරුට
දුම්මලසූරිය පොලිස් වසමට අයත් බුන්නැහැපොල ප‍්‍රදේශයේ කාන්තාවක් ඇයගේ අනියම් සැමියා විසින් කතුරෙන් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

අනියම් සැමියාද කතුරෙන් ඇන ගැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක දෙදරු මවකි.

මියගිය කාන්තාව පදිංචිව සිටි නිවසට අනියම් සැමියා බව පවසන පුද්ගලයා 15 වෙනි දින රාත‍්‍රියේ පැමිණ තිබේ. එම අවස්ථාවේ මියගිය කාන්තාව සමග නිවසේ ජීවත්වන ඇයගේ පුතා හා ඔහුගේ බිරිඳ කිසියම් අවශ්‍යතාවක් සඳහා ඥාති නිවසකට ගොස් සිටි නිසා ඇය අසල හිතවතියකගේ නිවසකට එදින රාත‍්‍රීය ගත කිරීමට ගොස් තිබිණි.

අනියම් සැමියා නිවසට පැමිණි අවස්ථාවේ ඇය නොමැති බැවින් ඇයගේ දුරකථනයට කතා කළ ද ඇයගෙන් ඊට පිළිතුරු ලැබී නැත. අනතුරුව ඇයගේ ඥාතීන් කිහිපදෙනෙකුට ඔහු කතා කළ ද ඇය සම්බන්ධව තොරතුරක් ලැබී නොමැත. ඊට තදින්ම උරණ වූ ඔහු ඇය පැමිණෙන තුරු නිවසේ රැඳී සිට තිබේ. අනතුරුව මියගිය කාන්තාව පසුදා එනම් 17 වැනි දින උදෑසන හයහමාරට පමණ නිවසට පැමිණි තිබේ.

එම අවස්ථාවේ අනියම් සැමියා ඇය නිවසේ නොසිටීම සම්බන්ධව විමසා ඇති අතර අනතුරුව බහින් බස් වී ඇත. එම අවස්ථාවේ ඔහු අත තිබූ කතුරකින් ඇයගේ පපුව ප‍්‍රදේශයට ඇන තිබේ. පසුව අනියම් සැමියාද කතුරෙන් ඇනගෙන තිබේ.

අනතුරුව ප‍්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබේ. පසුව දුම්මලසූරිය පොලිසිය හා 1990 ගිලන්රථ සේවය පැමිණ ඇයව පරීක්ෂා කර මියගොස් ඇති බව නිගමනය කර බරපතළ තුවාල ලැබ සිටි අනියම් සැමියා කුලියාපිටිය මහ රෝහලට රැගෙන යෑමට කටයුතු කර ඇත.