දෙහිවල සිංහයෙක්ට කොවිඩ් ? – ඉන්දියාවෙනුත් පරීක්ෂණයක්

0
Zoo දෙහිවල සිංහයෙක්ට කොවිඩ් ? – ඉන්දියාවෙනුත් පරීක්ෂණයක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයකුට කොවිඞ් රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි සත්වෝද්‍යාන ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන බව දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මෙසේ කොවිඞ් ආසාදනය වී ඇති බව කියනු ලබන්නේ 2012 වසරේදී දකුණු කොරියාවෙන් ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද, සත්වෝද්‍යානයේ සිංහ දූපතේ විසූ තෝර් (Thor) නමැති කේසර (පිරිමි) සිංහයාටයි.

දින කිහිපයක් කැස්සකින් හා උගුරේ වේදනාවකින් පීඩා විඳි මෙම සිංහයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත්, ඉන් පසු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකළ සතාගේ සෙම පටල පරීක්ෂාවෙන් කොවිඞ් බවට තහවුරු වී ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර සිංහ කූඩුව භාරව සිටි සත්ව රැකවලූන් දෙදෙනකු සත්වෝද්‍යානය තුළත්, තවත් රැකවලකු නිවසේත් නිරෝධායනය කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

සිංහයා ලෙඩ වූ දිනවලට ආසන්න දිනවලදී සත්වෝද්‍යානයේ විසූ සීබ‍්‍රා පැටවකු සහ වැඩුණු හිපපොටේමස් සත්වයකු ද හිටි හැටියේ මියගොස් සිටි බවත් වාර්තා වන අතර, ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නොමැති බව ද එහි සඳහන්.

ආසාදිත තෝර් නමැති සිංහයා වෙසෙන සිංහ දූපත තුළ 2012 වසරේදීම මෙරටට ගෙන එන ලද ෂීනා (Sheena) නමැති සිංහ ධේනුව සහ සිංහයින් සිව්දෙනකු වෙසෙනවා.

මේ පිළිබඳව එම පුවත්පත වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා ඇත්තේ සත්වෝද්‍යානයේ සිංහයකු අසනීප තත්ත්වයෙන් පසුවන බව සැබෑ නමුත්, සතුන් සඳහා ලබාගන්නා පී. සී. ආර්. පරීක්ෂණ ප‍්‍රතිපලවල දෝෂ තිබිය හැකි බැවින් ඉන්දියාව සමග කතා කර නිවැරදි පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි