ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?

0
Dr. Chandima Jeewandara - ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ ගැන ඔබ දැනුවත්ද?
අද දිනයේදී මෙරටින් වාර්තා වූ සිඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ පෙර ප්‍රභේදයන් සමග සැසදීමේදී සුළු වෙනස්කමක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. 

මිට පෙර කොවිඩ් ආසාදිතයින් අතුරෙන් වාර්තා වූ ගද සුවද නොදැනීමේ රෝග ලක්ෂණය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් අතරින් වාර්තා නොවන බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ. ඩෙල්ටා ප්‍රභේදයේ මුලික රෝග ලක්ෂණ ලෙස හිසරදය, උගුරේ වේදනාව සහ සෙම්ප්‍රතිශ්‍යාව සැලකෙන බවද ඔහු සඳහන් කර සිටියා.

මිට පෙර මෙරට ව්‍යප්තවූ කොවිඩ් ප්‍රභේදයන් හි රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස සහ ගද සුවද නොදැනීමේ රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන තිබුණා. නමුතේ අමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය වැනි රටවල් මගින් ලද වාර්තා මගින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්ට ගද සුවද නොදැනීම යන රෝග ලක්ෂණය සම්බන්ධ නොවන බවට විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

කොළඹ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයේ දී හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් පිරිසකගේ සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂණයේදී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු පළමු වරට මෙරට සමාජය තුලින් හඳුනා ගනු ලැබුවා.

දැනට අපගේ රටේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරලා තියෙන ඇල්ෆා ( බ්‍රිතාන්‍යය) කොවිඩ් ප්‍රභේදය. එය ඊට පෙර වාර්තා වූ ප්‍රභේදයන් සමග සැසදීමේදී සියයට 50 කට වඩා වැඩි වේගයකින් සම්ප්‍රේෂණය වන බවටයි විද්‍යාඥයින් සොයා ගෙන තිබුනේ. නමුත් මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, වත්මන් ඇල්ෆා ප්‍රභේදයට වඩා සීයයට 50ක වේගයෙන් සම්ප්‍රේෂණය වනවා. එකට හේතුව වන්නේ L.452R කියන විකෘති ප්‍රභේදය නිසා S ප්‍රෝටීනය වැඩි වශයෙන් ඇග ඇතුලේ රැඳීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ඉදිරියේදී මේ දක්වා ව්‍යාප්ත වුනු සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීමේ හැකියාවක් තිබෙනවා”  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර  සඳහන් කර සිටියා.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් එන්නත්කරණයේදී ඉදිරියෙන් සිටින රටවල්, නමුත් ඩෙල්ටා ප්‍රභේදය නිසා ඒ රටවල නව කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය වැඩි වෙලා තිබෙනවා.

මේ ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 02කම ලබා ගැනීම වැදගත් කියලා ලොවපුරා විද්‍යාඥවරුන් සිය දත්ත මගින් පෙන්වා දී තිබෙනවා. මේ දිනවල මෙරටේ වේගයෙන් කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම සිදුකරනු ලබනවා.

මේක ගෝලීය වසංගතයක්. අපට නව ප්‍රභේද ඇතුල්වීම නතර කරන්න කිසිදු රටකට හැකියාවක් ලැබී නැත්තේ ඒ නිසයි. මේ වසංගතයෙන් ආරක්ෂා වීමට සෑමවිටම යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න අවශ්‍යයි.

ඒ වගේම හෙට දිනයේදී නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය නව කොවිඩ් ප්‍රභේදයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණ පරීක්ෂණ ආරම්භ කරනවා. අපිට ඉදිරි දින 7-10 තුලදී නව වාර්තාවක් ලබාදීමට හැකියාව තිබෙනවා” යැයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා.