අතුරුදන්ව සිටි තරුණයා කසිප්පු මැරයන්ට බියෙන් ගල්ගුහාවක සැගවී සිටියදී සොයාගනී

0
Illegal alcohol - අතුරුදන්ව සිටි තරුණයා කසිප්පු මැරයන්ට බියෙන් ගල්ගුහාවක සැගවී සිටියදී සොයාගනී
කසිප්පු ජාවාරමක් ගැන ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකය හේතුවෙන අතුරුදහන්ව සිටි නිවිතිගල කිරිබත්ගල 17 හැවිරිදි තරුණයා කැලෑවක ගල්ගුහාවක සැඟවී සිටියදී ප‍්‍රදේශවාසින් පිරිසක් විසින් සොයාගෙන පොලිසියට භාරදී තිබේ.

ඊයේ (16 දා) පස්වරුවේදී මෙම තරුණයා සොයාගෙන ඇත්තේ සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී රම්‍ය කුමාර මහතා ඇතුළු ගම්වාසින් පිරිසක් විසිනි.

මෙම තරුණයාගේ නිවෙසට ප‍්‍රහාරයක් එල්ල කර නිවෙස සම්පූර්ණයෙන් විනාශ කර තිබුණි. නිවෙස් හිමි කාන්තාව එනම් අතුරුදහන් තරුණයාගේ මව මාධ්‍යයට පැවසුවේ කසිප්පු ජාවාරමක් ගැන ඔත්තුවක් ලබාදුන්නේ යැයි සැකයෙන් කසිප්පු ජාවරම්කරුවන් පිරිසක් තම නිවෙසට ප‍්‍රහාරයක් එල්ල කළ බවයි.

කසිප්පු ජාවාරම්කරුවන්ගේ මරණීය තර්ජනයට ලක්වු තම පුතා සොයා ගැනීමට නැති බව ඔහුගේ මව නිවිතිගල පොලිසියට 15 වනදා පැමිණිලි කර තිබුණි.

පසුගිය 11 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් මෙම ප‍්‍රදේශයේ දී කසිප්පු වැටලීමක් සිදු කර තිබුණි. එහිදී කසිප්පු මිලි ලීටර් 33,750 ක් සහ ග්‍රෝඩා මිලි ලීටර් අට ලක්ෂ විසිපන්දහසක් සැකකරුවන් හත් දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධියෙන් පසු ප‍්‍රදේශයේ නිවෙසකට ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. ප‍්‍රහාරය එල්ල කළේ කසිප්පු ජාවාරමට සම්බන්ධව අය බව නිවෙස් හිමි කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබිණී.

කසිප්පු ජාවාරම්කරුවන්ගේ මරණීය තර්ජන නිසා තමා ගල් ගුහාවක සැඟවී සිටි බව 17 හැවිරිදි තරුණයා ගම්වාසින්ට පවසා තිබේ.

හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා කිරිබත්ගල ප‍්‍රදේශයට ගොස් කසිප්පු ජාවාරම්කරුවන්ගේ ප‍්‍රහාරයෙන් විනාශ වූ නිවස පරීක්ෂාකර ගම්වාසීන් සමග කතාකරද්දී අතුරුදහන් තරුණයා සිටින ස්ථානය ගැන ගම්වැසියකුගෙන් තොරතුරු ලබාගෙන ඔහු රැගෙන විත් නිවිතිගල පොලිසියට භාරදී තිබේ. පුද්ගලයකුට ප‍්‍රහාරයක් එල්ල කළේ යැයි පැමිණිලි මත මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.