රනිල්ගේ සහායට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 60ක් – රංගේ බණ්ඩාර

1
Ranil wickramasinghe - රනිල්ගේ සහායට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 60ක් - රංගේ බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කරන බව මැතිවරණ කොමිසමට ඊයේ (16 දා) දැනුම් දුන්නේ යැයි පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය අනුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය නියෝජනය කිරීමට ලබන සතියේදී පාර්ලිමේන්තුවට යෑමට නියමිතව ඇති බව ද ඒ මහතා පැවැසීය.

ලබන අඟහරුවාදා (22 දා) පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇති අතර 23 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දියයුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කර ඇතැයි ද මහ ලේකම්වරයා පැවසීය.

එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රි ධුරයට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පත්කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමෙන් පසු මහලේකම්වරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ මන්ත‍්‍රීවරුන් 42 ක් තියාගෙන රජයක් ගෙනගිය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළකරමින් මන්ත‍්‍රීවරුන් 60 දෙනකු පාර්ලිමේන්තුව තුළ සිටින බවය.

මේ අතර එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රි ධුරයට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නම් කරන ලෙස එම පක්ෂය කර ඇති ඉල්ලීම හෙට (18 දා) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා සාකච්ඡා ඉදිරිපත් කරන බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

එම නමට කොමිසමේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට රජයේ මුද්‍රණාලයට යොමු කරන බව ද හෙතෙම කියා සිටියේය