ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම 1ක් කොවිඩ් -19 ආසාදිතයෙක්

0
coronavirus in sri lanka - ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම සිය දෙනෙකුගෙන්ම 1ක් කොවිඩ් ආසාදිතයෙක්
මෙරට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 10,293 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් 100 දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

එමෙන්ම හඳුනාගත් එම ආසාදිතයින් අතරින් මරණයට පත්ව ඇති ගණන 1% කට ආසන්නය.

සංචරණ සීමා කර ඇති පසුබිමක පසුගිය දින 07 ක් තුළ එනම් ජුනි 6 සිට ජුනි 12  වැනිදා දක්වා කාලය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 18,920කි.

එය මැයි 30 වැනිදා සිට ජුනි 05 දක්වා වූ ගෙවුණු පෙර සතියට සාපේක්ෂව 13% ක අඩුවීමකි.

කෙසේවෙතත් පෙර සතියට සාපේක්ෂව ගෙවුණු සතියේ මරණ සංඛ්‍යාව 51% කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

එමෙන්ම තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ.

ලෝක ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 22,633කි.

එම ගණනට ඉහළින් ආසාදිතයින් වර්තා වු රටවල් හෝ කලාප සංඛ්‍යාව104ක්.

අමෙරිකාව ඇතුළු ලොව රටවල් 15 වක සෑම පුද්ගලයන් දස දෙනෙක්ගෙන්ම එක් පුද්ගලයකු කොවිඩි ආසාදිතයන් ලෙස මේ වනවිට වර්තා වී ඇති අතර අමෙරිකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 103,100 කි. 

එන්නත්කරණය හරහා කොවිඩි හොඳින් පාලනය කළ බව කියන ඊශ්‍රායලය ඇතුළු තවත් රටවල් සිය ගණනක එම අගය පුද්ගලයන් දහයෙන් එකක් දක්වා ආසන්න වී තිබීම ද විශේෂත්වයකි. 

එමෙන්ම ලොව වැඩිම මරණ අනුපාතය වර්තා වන්නේ පේරු රාජයෙනි.

එය එරට ජනගහනයෙන් මිලියනයකට මරණ 5,641ක් වන අතර එරටින් වර්තා වු සමස්ත ආසාදිතයන් අතරින් දස දෙනෙක්ගෙන් එක් අයකු ජිවීතක්ෂයට පත්ව තිබීම ද විශේෂත්වයකි.

නමුත් කොවිඩ් වසංගතය හොඳින්ම පාලනය කළ රටවල් වන චිනය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක පමණක් ආසාදිතයින් සහ මරණ අගය පහළ මට්ටමක තවමත් පවතී.

මේ අනුව ලොව බොහෝ රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තවමත් හොඳ කොවිඩ් පාලන තත්වයක් පවතින අතර එය ලෝක මට්ටමට පහළ අගයකි.

මේ අතර, කොවිඩ් පැතිරීම වළක්වන්න ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් යහපත් පුරුද්දක් හඳුන්වා දී තිබෙනවා. එනම් දොර ජනෙල් විවෘතව තැබීම ද ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)