පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත් දීම කෙරෙහි අවධානය

0
Vaccine - පාසල් සිසුන්ටත් කොවිඩ් එන්නත් දීම කෙරෙහි අවධානය
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා , ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ඉටු කර ගත හැකි බව පෙන්වා දී තිබෙනවා .

මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ පාසල් නැවත ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා දීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රට පුරා විසිරී තිබෙන අධ්‍යාපන කලාප 99 උදෙසා තම සංගමයේ නියෝජිතයන් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව එම සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන් බවද එම නිවේදනයේ සඳහන් .

පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණීය හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාවය දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දී තිබෙනවා.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබාදීමේ වැදගත්කම ද මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පෙන්වා දුන්නා.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා.