ගෑස් සිලින්ඩරයක් තුළින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2000කට ආසන්නයි

0
Heroin - ගෑස් සිලින්ඩරයක් තුළින් සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2000කට ආසන්නයි
වැලිගම පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ අද අලුයම සිදුකල මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1758 ක් බවට තක්සේරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කලේ අදාළ හෙරොයින් තොගයේ මුලු බර කිලෝ ග්‍රෑම් 219 කට අධික බවයි.

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

බහුදින ධීවර යාත්‍රාවක් මගින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කර මෙම හෙරොයින් තොගය සැගවීමටයි උත්සාහ දරා තිබුණේ.

ඒ සඳහා භාවිත කළ උර සහ ගෑස් සිලින්ඩර තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝ 219 යි ග්‍රෑම් 800 ක පමණ තොගයක් / බහුදින ධීවර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් සමග එම යාත්‍රාවන්හි සිටි ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැණුනා.

මෙලෙස හෙරොයින් ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව පසුගිය මැයි මස 11 වන දින මාතර, කෝට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාව වෙත ලබා ගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 43 අතර වියෙහි පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල, කෝට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්වතුමෝදර සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබෙනවා.

සැකකරුවන් සහ හෙරොයින් තොගය සම්බන්ධ වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්වයි සිදුකරමින් පවතින්නේ.