ආණ්ඩුවම ඉල්ලා අස්වී රට කරන්න පුළුවන් අයට දෙන්න

0
Sajith premadasa - ආණ්ඩුවම ඉල්ලා අස්වී රට කරන්න පුළුවන් අයට දෙන්න
ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය රිවර්ස් කරන්නට ආණ්ඩුවට බල කෙරෙන ජනමතයක් මේ වනවිට ත් නිර්මාණය වී අවසන් බවයි.

ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීම මගින් ඔහු නිරූපණය කරන්නේ, අදාළ කටයුත්ත වෙනුවෙන් කසකරුවකුගේ භූමිකාව බව ද විපක්ෂ නායකවරයා සිහිපත් කර සිටී.

එක් කඩතොල්ලක් මකා ගන්නට ගොස් ලේකම්වරයා කඩතොලු රැසක් නිර්මාණය කර ඇති බවත් රටේ සමස්ත ජනතාවගේ ගෙල සිර කොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගැනීමට තරම් පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන ඇති බවත්  විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

තව ද එහි සඳහන් වන්නේ, රට පාලන කරන්නේ, තමන්ගේ පක්ෂය දැයි, කියා හෝ නොදන්නා ලෙස පොදුජන පෙරමුණු ලේකම්වරයාගේ නිකුත් කර ඇති නිවේදනය මගින් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් ඇති බරපතළ අර්බූදයක ගිනි පුපුරු පිටතට විසි වී ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගම්මන්පිල මහතා පමණක් නොව මුලු ආණ්ඩුවම ඉල්ලා අස්වී රට නැවත ගොඩනැගිය හැකි කණ්ඩායමකට රට භාරදිය යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.