අද තහවුරු කළ මරණ 101 හේතුවෙන් සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
Travel restrictions - අද තහවුරු කළ මරණ 101 හේතුවෙන් සංචරණ සීමා දීර්ඝ වෙනවා ද ? හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්

අද දිනය තුල තහවුරු කර ගත් කොවිඩ් මරණ 101ක් වාර්තාවීම හේතුවෙන් 14 වන දින රට විවෘත කිරීමට ගෙන තිබූ තීරණය 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවට යුද හමුදාපතිවරයා පැවසූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩය ව්‍යාජ එකක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියාසිටියේ එහි කිසිදු සත්‍යතාවත් නොමැති බවයි.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ 14 වන දින දැනට පවතින සංචරණ සීමා ලිහිල් කෙරුණ ද එය සිදුවන්නේ දැඩි කොන්දේසි මත බවයි.

ඒ අනුව පළාත් අතර ගමනාගමනය තවදුරටත් සීමා කෙරෙන අතර කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේ සීමාවන් ද තවදුරටත් එලෙසම පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව පවතින බව ඔහු සඳහන් කළා. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධන බලකාය හෙට දින රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී පවතින තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි තීරණ ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියාසිටියේ.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)

UPDATE (17.30) : සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ