පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට මා විරුද්ධයි

0
English language - පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට මා විරුද්ධයි
ප‍්‍රාථමික අංශයේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට කිසිදු ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කැබිනට් මණ්ඩලය තුළ එවැනි සාකච්ජාවක් සිදුවී නැති බවත්, එවැනි තීන්දුවක් ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය වීමක් සිදුවනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ලේකම්වරයා එවැන්නක් ප‍්‍රකාශ කරනවා නම් එය ඔවුන්ගේ පෞද්ගලික අදහසක් විය හැකි බව පැවැසූ ඇමැතිවරයා හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වශයෙන් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් තමන් පැහැදිලිවම විරුද්ධ බවත් පැවැසීය.

ලෝකයේම දරුවන් වෙනුවෙන් පෙනී සිටින යුනෙස්කෝ සංවිධානය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත් දේ රටක දරුවෙකුට තම මව් භාෂාවෙන් මූලික අධ්‍යාපනය ලබාදිය යුතු බව යැයි පැවැසූ ඇමැතිවරයා මෙය ලෝක සම්මතයක් බවත් පැවැසීය.

ඒ අනුව ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 21 වගන්තියේ අධ්‍යාපනයේ මාධ්‍ය කුමක්ද යන්න පැහැදිලිවම සඳහන් වන බවත්, සිංහල හා දෙමළ යන මූලික භාෂා දෙකෙන් පමණක් මූලික අධ්‍යාපනය ලබාදිය යුතු යැයි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන බවත් සඳහන් කළේය.

පළමු ශ්‍රේණියේ සිට මෙරට දරුවන්ට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට නම් ප‍්‍රථමයෙන් තුනෙන් දෙකක ඡන්ද බලයකින් ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව වෙනස් කළ යුතු බවත්, දෙවනුව යුනෙස්කෝ වැනි සංවිධානවල මූලික ප‍්‍රතිපත්තිය පිළිනොගන්නා රටක් බවට පත්වන බවත්, ලෝක සම්මත මව් භාෂා ප‍්‍රතිපත්තියට පටහැනිව කටයුතු කළ හැකිද යන්න අධ්‍යාපන ඇමැතිවරයා සහ රටේ අධ්‍යාපන විශේෂඥයන් සමග පුළුල් සංවාදයක් ඇතිවිය යුතු යැයිද කීය.

ශ‍්‍රී ලාංකික දරුවන්ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා නොදිය යුතු යැයි මින් අදහස් නොකරන බව පැවැසූ ඇමැතිවරයා අනිවාර්යෙන්ම අප රටේ දරුවන්ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදිය යුතු බවත්, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර වැඩපිළිවෙළ යටතේ භාෂා විද්‍යාගාර ඇති කළේ ඉංග‍්‍රීසි භාෂාව ඇතුළු අනෙකුත් භාෂාවන් අලූත් ක‍්‍රමවේද ඔස්සේ ඉගැන්වීමට යැයිද සඳහන් කළේය.

ප‍්‍රාථමික අධ්‍යාපනය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ලබාදීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළක් කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවට මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)