මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

0
Baby death - මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා මරණය ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා.

පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. මැයි 27 වැනිදා බිළිඳා මියගොස් තිබෙනවා.

මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොරෝනා මරණ වාර්තාව යළි අලු‍ත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේදී මරණ 67ක් නිවේදනය කළ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,910ක්.

ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 17 වැනිදා සිට ජුනි 08 දක්වා කාලය තුළදී වන අතර ඊට පිරිමි පුද්ගලයින් 43 දෙනෙක් සහ කාන්තාවන් 24 දෙනෙක් අයත්. එම පිරිස අතර වයස අවුරුදු 20ත්, 29ත් අතර දෙදෙනෙකු, වයස අවුරුදු 36 ක කාන්තාවක්, අවුරුදු 40 ත්, 49 ත් අතර තුන් දෙනෙකු සහ අවුරුදු 50 ත්, 59 ත් අතර 05 දෙනෙකු වනවා. එසේම, ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ අතර වයස අවුරුදු 60 ත්, 69 ත් අතර 16 දෙනෙකු, අවුරුදු 70 ත්, 79 ත් අතර 19 දෙනෙකු සහ අවුරුදු 80 ත්, 89 ත් අතර 18 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.