ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු මෙරටින් හමුවෙයි

0
covid - ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු මෙරටින් හමුවෙයි
ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 (ඩෙල්ටා) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වනවා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණය සම්බන්ධයෙන් වන නවතම පර්යේෂණ වාර්තාව එලි දක්වමින් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මේ බව සඳහන් කර සිටියා.

කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් පිරිසකට ද B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා සිටි පුද්ගලයින් වනවා. මේ වන විට ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇති බවයි  බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.

එමෙන්ම වේගවත් ව්‍යාප්තියක් සහිත B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, මාතර දිස්ත්‍රික්කයේ, හබරාදුව ප්‍රදේශයෙන්, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම ප්‍රදේශයන් ගෙන් වාර්තා වී ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් හමුවූ B.1.411 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ජානමය අනුක්‍රමණ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත අද උදෑසන භාරදුන් බවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර සිටියා.