ධම්මික පැණිය සායනික පරීක්ෂණයෙන් ෆේල්

0

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පරීක්ෂණය සිදුකලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය.

ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් 68 දෙනෙකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය සේනක පිලිපිටිය ප්‍රකාශ කළේය.

වතුපිටිවෙල මුලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී 100% ප්‍රථිපල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට පෙර නිවේදනය කර තිබිණ.

සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමු කර ඇත.

විද්වත් කමිටුවට පසුගිය බදාදා (28) රැස්වී මේ පිලිබඳව අධ්‍යනය කර ඇති අතර එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්ව විද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය.

කොවිඩ් රෝගීන් 100%ක් සුවවන බවට ප්‍රකාශ කරමින් සකස් කරන ලද මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජන කොට්ඨාශයක් ලබාගැනීමත් සමග සායනික පරීක්ෂණයක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කළේය.

කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සුත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇති බව අරුණ පුවත්පත වාර්තා කොට තිබේ.