ගමේ අය බලා සිටිද්දී කොළඹ බලවත්තු ගාල්ලට ගිහින් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ගනියි

0
Astrazeneca in galle - ගමේ අය බලා සිටිද්දී කොළඹ බලවත්තු ගාල්ලට ගිහින් ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ගනියි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දී ලබාදීම ඊයේ දිනයේ දී ද සිදුවෙමින් පැවතිණ.

මේ සඳහා බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණනක් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියහ.

එන්නත් ලබා ගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතීන් බව ඔවුන්ගේ කතාබහෙන් පැහැදිලි විය.

පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනෙකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ් පත පෙන්වා ඇතුළු වන බවයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවකදී පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසු විට එහි නිලධාරියකු කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවෙනි එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදූව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.

මෙම එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය අනුර සිංගාරච්චි මහතාගේ මෙහෙයවීමෙනි.

මේ සම්බන්ධව අප ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් විමසූ විට හෙතෙම මෙසේ පැවසීය

“ගාල්ලට ලැබුණු එන්නත් වලින් අපි එන්නත් ලබා දුන්නේ දෙවැනි මාත්‍රාව දීමටත් ඉතුරු කරගෙන. ඒ නිසා අපිට තොග ඉතිරි වුණා.රටේ ඕනෑම තැනක ඉන්න පුද්ගලයකුට ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්ත නම් දෙවැනි මාත්‍රාව ගැනීමේ හිමිකමක් තියෙනවා. අපට ඒ අය පදිංචි කොතනටද, මොන පළාතෙද, මොනවද කරන්නේ කියලා අදාල නෑ. අපට කතා කරලා ආවොත් අපි ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත්තු අයට එන්නත ලබා දෙනවා. ඒක ඔවුන්ගේ හිමිකමක්. මේ එන්නත් අපි හොර පාරේ යැව්වෙ නෑ. සල්ලි වලට විකුණලා නෑ. ඊයේ අපි දාහකට විතර එන්නත් දුන්නා. අදත් මේ එන්නත් දෙනවා. අපි ළඟ ප්‍රමාණවත් එක තියෙනවා.”

ගාල්ලෙ බොහෝ පිරිසකට ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව තවමත් නෑ

කෙසේ වුවද ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා නොගත් බොහෝ පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටින අතර ඔවුන්ට එන්නත ලබාගත හැකි දැයි විමසීමක් කිරීමේදී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසා ඇත්තේ එන්නත් විද අවසන් බවයි.

මෙම එන්නත් කිරීමේ වැඩසටහන පිළිබඳව අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙවැනි එන්නත් කිරීමක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිසේත්ම දැනුවත්ව නැති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත් සියල්ල අවසන් වී ඇති බව පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන සිටි බවත් ගාල්ලේ එම එන්නතේ අතිරික්ත තොග ඉතිරිව තිබෙන බව කිසිසේත්ම නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය.

(ada.lk වෙබ් අඩවිය ඇසුරිනි)

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 47ක් වාර්තා විය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.