ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සයි

0
Cessna 150 - ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චීනවරාය කඳවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයට අයත් ගුවන් නියමුවන් පුහුණුව සඳහා යොදා ගනු ලබන ගුවන් යානයක් හදිසි කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තිරයට උතුරින් පිහිටි ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසියේ ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

මෙලෙස හදිසි ගොඩබෑමක් සිදුකර ඇත්තේ සෙස්නා 150 වර්ගයේ ගුවන් යානයක් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ.

අද පෙරවරු 10.22 ට පමණ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් තොටුපොලෙන් ගුවන් ගතවූ ගුවන් යානය පෙරවරු 10.48 ට පමණ මෙම හදිසි ගොඩබෑම සිදුකර තිබෙනවා.

මේ වන විට ගුවන් යානය සහ එහි සිටි නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව සිටින බවත්, නියමුවන්ගේ දක්ෂකම මත ඇතිවීමට ගිය ගුවන් අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.