ගෙදර සියල්ලන් බිළි ගනිමින් දෙවනගල නාය ගිය ඛේදවාචකයේ සැඟවුණු කතාව

0
Dewanagala landslide - ගෙදර සියල්ලන් බිළි ගනිමින් දෙවනගල නාය ගිය ඛේදවාචකයේ සැඟවුණු කතාව

මුළු රටම කම්පා කරමින් පෙරේදා (05) දින උදෑසන 06ත් 06.30ත් අතර කාලයේ නාය ගිය දෙවනගල අවාසනාවන්ත ඛේදවාචකය පිළිබඳ තවත් තොරතුරු රැසක් අද (07) දිනපතා පුවත්පත් මගින් අනාවරණය වනවා.

එකම පවුලේ සිවු දෙනකු මෙහිදී මියගියේ අධික වැසි තත්ත්වයත් සමග ඇතිවූ නාය යෑම නිසායි.

එම දිනයේ සහ ඊට පෙර දින දිවයින පුරා අධික වර්ෂාවක් පැවැති අතර නිවෙසක් තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි ලෙස මහා පස් කන්දක් සමඟ ගස් කොළන් මෙන්ම ගල් පර්වත කිහිපයක්ම නිවෙස මතට පෙරළී තිබෙනු දැක ගැනීමට හැකි වුණා.

උදෑසන 09 පමණ වන විට පස් කන්දට යටවී තිබූ 23 හැවිරිදි කංකානමලාගේ උමේෂා මධුවන්ති විජේරත්න යන අයගේ සිරුර ගොඩට ගත් අතර ඉන් පසුව එම පවුලේ පියා වන 57 හැවිරිදි කංකානමලාගේ විජේරත්න සහ මව වන 55 හැවිරිදි වීරසිංහ පේඩිගේ ලලිලා වීරසිංහගේ දේහයද, එදින දහවල් මෙම පවුලේ එකම පුතණුවන් වන 29 හැවිරිදි කංකානමලාගේ ශානික පුෂ්පකුමාර යන අයගේ දේහයන් සොයා ගෙන තිබුණා.

මෙම පවුලේ මව හා පියා රැකියාවක් නොකරන අතර දියණිය මාවනැල්ල ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කළා.

29 හැවිරිදි පුතණුවන් වසර කිහිපයක් මාලදිවයිනේ රැකියාවක් කොට මීට මාස කිහිපයකට කලින් ලංකාවට පැමිණ තිබෙනවා.

නාය යෑමට පෙර දිනයේ අලුතින් ඉදිකරමින් ඇති ඔවුන්ගේ අලුත් නිවසේ කපරාදු කිරීමට සිමෙන්ති ගෙනැවිත් පෙදරේරුවන් කිහිපදෙනකුටද වැඩට එන්නට ඔහු ආරාධනා කර තිබුණා.

මාලදිවයිනේ රැකියාව කරන අතරවාරයේ මාස කිහිපයකට සැරයක් තම නිවෙසට ආ ගිය ශානික පුෂ්පකුමාරගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ කෙසේ හෝ තම අලුත් නිවෙස ඉක්මනින් සකස් කර ගැනීමය.

මේ වන විට එම නිවෙස වැඩ අවසන් වී තිබුණා නම් මෙවැනි ඛේදනීය තත්ත්වයකට ඔවුන් කිසි දිනෙක මුහුණ දෙන්නේ නැති බව ගම්මුන්ගේ අදහසයි.

ගම්මානයේ කිසිවකුටත් මේ සිද්ධිය අදහා ගැනීමට නොහැකි කරුණකි.

එදින උදෑසන කරම්පිටිය ගමේ පදිංචි 53 හැවිරිදි පී. ප්‍රේමරත්න නාය ගිය නිවෙස පසු කරමින් ඊට ඉදිරිපිට ඇති වෙල් යායේ අඩි කිහිපයක් ඉදිරිපිටට ගමන් කරද්දී මහා විශාල ශබ්දයක් ඇසී පසුපස බලන විට නාය යෑම දැක තිබෙනවා.

ඔහු පවසන පරිදි ඒ සියල්ල වන්නට ගතවූයේ තත්පර කිහිපයකි. නිවෙස යට කරගෙන පස් කන්ද තමා සිටින වෙල් යාය දෙසට ඇදී එන අන්දම ඔහු දැක ඇති බවයි වාර්තාකරුවන් සඳහන් කර ඇත්තේ.